Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th July 2023 12:54:05 Hours

බටහිර භට පිරිස් ආපදා සහන මෙහෙයුම් සඳහා දායක වෙති

2023 ජූලි 05 දින දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දාගොන්න, කඩවල, හල්ගහවෙලවත්ත, කටුවැල්ලේගම, බෝබුගම්මන සහ පලුගහවෙල යන ප්‍රදේශවලට පසුගිය දිනවල ඇති වූ අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් නිවාස 73 කට, විහාරස්ථාන දෙකකට, ප්‍රදේශයේ පාසල් ගොඩනැගිලිවල වහල මතට සහ බොහෝ මාර්ග වලට ගස් කඩා වැටීමෙන් ආපදා මාලාවක් සිදුවී ඇත. ඒ අනුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු විවිධ රාජ්‍ය ආයතන සමඟ යුද හමුදා භට පිරිස් විපතට පත් ප්‍රදේශවලට සහන සැලසීමට සහ ඒම ප්‍රදේශ සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට සිය ශ්‍රම දායකත්වය ලබා දී ඇත.

මේ සදහා ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති තුමාගේ උපදෙස් මත 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම යටතේ සහ 141 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිවරයාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 2 (V) ශ්‍රී ලංකා යුද හමුදා සේවා බළකායෙහි පිරිස් 60 කගේ පමණ සහභාගීත්වයෙන් ආපදා සහන මෙහෙයුම් සිදුකර ඇත.

මෙහිදී වැටී තිබූ ගස් හා සුන්බුන් ඉවත් කිරීම, හානියට පත් නිවාස සහ ගොඩනැගිලිවල වහලවල් අලුත්වැඩියා කිරීමට සහය වීම සහ ප්‍රදේශයේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම ඇතුළත් විය. රථ වාහන සහ සිවිල් වැසියන්ගේ ගමනාගමනයට ඉඩ සලසමින් මාර්ග සුද්ධ පවිත්‍ර කිරීමට භට පිරිස් දැඩි වෙහෙසක් ගත්හ.

සහන සේවා මෙහෙයුම් ඉටු කිරීමේදී හමුදා භට පිරිස් සහ අනෙකුත් රාජ්‍ය ආයතන අතර සහයෝගීතාවය සහ ඒකාබද්ධ ප්‍රයත්නයන් නිසා විපතට පත් ප්‍රජාවන්ට සහන සලසමින් තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට හැකි වීය.