Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

26th November 2023 09:20:12 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර, 11 වන සංවත්සරයට සමගාමීව වැඩසටහන් මාලාවක්

ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර, 11 වන සංවත්සරයට සමගාමීව 61 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් 613 පාබල බලසේනා මූලස්ථානය සහ 9 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 3 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකාය වෙතින් 2023 නොවැම්බර් මස 18 දින මාතර තිහගොඩ ප්‍රදේශයේ රෝගීන් 650 දෙනෙකුට අධික පිරිසකට ප්‍රතිකාර ලබාදී ගර්භනී කාන්තාවන් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් 100 ක් බෙදාදීමේ වැඩසටහනක් මාතර, තිහගොඩ ප්‍රදේශයේ පිහිටි තිහගොඩ ප්‍රාථමික විද්‍යාලයේදී ක්‍රියාත්මක කෙරිණි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ‘පශ්චාත් උපාධි වෘත්තීය උපදේශන සේවා සංගමය’ හා සම්බන්ධ වෛද්‍යවරුන්ගේ සහයෝගය මත නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සහ නාරාහේන්පිට ආසිරි රෝහල් රසායනාගාර සේවා කණ්ඩායමක් විසින් මෙම ප්‍රජා මූලික ව්‍යාපෘතිය මෙහෙයවනු ලැබීය.

පසුගිය මාස කිහිපය තුළ ගංවතුර සහ අධික වර්ෂාපතනය හේතුවෙන් අවතැන් වූ තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බලප්‍රදේශයේ වෙසෙන ජනතාවගේ සෞඛ්‍ය හා සනීපාරක්‍ෂක ප්‍රමිතීන් වැඩිදියුණු කිරීමේ අරමුණින් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

මෙම වැඩසටහනේදී වෛද්‍ය කණ්ඩායම් විසින් රෝගීන් පරීක්‍ෂා කර ඖෂධ ලබාදීම, අක්‍ෂ සායන, දන්ත සායන, කායික උපදේශන, පවුල් උපදේශන සහ ව්‍යාපාරික උපදේශන සිදුකර ආයුර්වේද ප්‍රතිකාර සේවාවක් ද සිදුකරනු ලැබීය. මෙම වැඩසටහනට සමගාමීව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල ගර්භනී කාන්තාවන් 100 දෙනෙක් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් ද බෙදාදෙනු ලැබීය.

මෙම උත්සව අවස්ථාව සඳහා 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී, ආරක්‍ෂක සේනා මූලස්ථාන - බටහිර බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන්, කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි වෘත්තීය උපදේශන සේවා සංගමයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යාඥ වෛද්‍ය චාමර ලියනගේ මහතා, ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර නිලධාරීන් සහ සෙසුනිලයින් ද සහභාගී වූහ.