Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

02nd June 2025 18:02:01 Hours

අයහපත් කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ යුද්ධ හමුදා භටපිරිස් ආපදා සහන මෙහෙයුම් ක්‍රියාත්මක කරයි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපෑ අධික සුළං තත්ත්වය හේතුවෙන් සිදු වූ ආපදා තත්ත්වයන්ගෙන් අනතුරුව යුද්ධ හමුදා භටපිරිස් ආපදා සහන මෙහෙයුම් ආරම්භ කර තිබේ.

තද සුළං තත්ත්වය හේතුවෙන් මැයි මස 30 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට සහ මේට්ලන්ඩ් ක්‍රෙසන්ට් යන ප්‍රදේශයන්හි විශාල ගස්වල අතු කඩාවැටීම හේතුවෙන් එම මාර්ගවල ගමනාගමන කටයුතු අඩාල වී තිබූ අතර කඩිනමින් ක්‍රියාත්මක වූ 14 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එම ගස් ඉවත් කර මාර්ගයන්හි ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන ලදී.

එමෙන්ම, නිකවැරටිය ප්‍රදේශයේ, රස්නායකපුර පාසල් ගොඩනැගිල්ලක් මතට ගස් කිහිපයක් කඩා වැටී තිබූ අතර 9 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සාමාජිකයන් 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් කුරුණෑගල, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය මත කඩාවැටුණු එම ගස් ඉවත්කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

මේ අතර, හල්මිල්ලවැවට ගස් කඩාවැටීම හේතුවෙන් එම වැවේ වේල්ලේ කොටසකට දැඩි ලෙස හානි වී තිබූ අතර කඩිනමින් ක්‍රියාත්මක වූ 16 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එම වේල්ල තුළ වැලි කොට්ට අතුරා ප්‍රතිසංස්කරණය කරන ලදී

.

එසේම, තද සුළං හේතුවෙන් මාතර මහා විද්‍යාලය අසළ පිහිටි ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් කාර්යාලයේ කූඩාරම් සහිත රථගාල මතට කඩා වැටුණු කොට්ටම්බා ගසක් කපා ඉවත් කිරීමට 3 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් කටයුතු කරන ලදී.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිරන්තරයෙන් බලපෑමට ලක්වන සියලුම ප්‍රදේශවල සහන සේවා සැපයීමේ කටයුතු සඳහා සිවිල් බලධාරින්ට අවශ්‍ය සහයෝගය දැක්වීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් සූදානමින් සිටින අතර මෙහිදී, අඛණ්ඩ සහන සේවා මෙහෙයුම් මඟින් මහජන ආරක්‍ෂාව සහතික කිරීමට සහ බලපෑමට ලක් වූවන්ගේ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම කෙරෙහි යුද්ධ හමුදාව ප්‍රධාන වශයෙන් අවධානය යොමුකරනු ලබයි.