12th November 2024 15:27:34 Hours
61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, බ්‍රිගේඩියර් කේ ටි පි ද සිල්වා ආර්එස්පි එන්ඩියු පිඑස්සී 2024 ඔක්තෝම්බර් 20 සහ 21 යන දෙදින තුළ 572 පාබල බලසේනාවේ සිය මංගල නිල සංචාරය සිදු කරන ලදී.
මෙම සංචාරය ආරම්භ වූයේ බඹරගස්තැන්නේ පිහිටි 572 පාබල බලසේනාවේ යෝජිත බලසේනා මූලස්ථානයේ ඉදිකිරීම් භූමිය නිරීක්ෂණය කිරීමත් සමඟය. 572 කපුගල පාබල බලසේනාවේ උපක්රමික මූලස්ථානය වෙත පැමිණීමත් සමග, සේනාංකාධිපති සම්ප්‍රදායානුකූලව ප්‍රධාන දොරටුව අසලදී කදවුරු මුරයක් පිරිනමන ලද අතර, 572 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒ පි ඒ ඩි ඩි ධර්මකීර්ති ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි පිටිඑස්සි විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී.
ඉන් අනතුරුව, 572 වන පාබල බලසේනාවේ බලසේනාධිපති විසින් පාබල බලසේනාවේ කාර්ය භාරය පිළිබඳ සවිස්තරාත්මක දැනුවත් කිරීමක් සිදුකරන ලදි. අනතුරුව කඳවුරු පරිශ්‍රයේ ආරක්ෂක මැදිරිය, අවි ගබඩාව, භඨනිවාස සහ අනෙකුත් ස්ථාන පරීක්ෂාවට ලක් කළ සේනාංකාධිපති කූරගල පුරාණ බෞද්ධ ආරාමයේ ක්ෂේත්‍ර චාරිකාවක ද නිරත වූහ. සිය සංචාරය අතරතුර, කුරුවිට, ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 572 පාබල බලසේනාවේ සහ 8 වන ගැමුණු හේවා බළකායේ භට පිරිස් අමතා, සෝදිසි කිරීම් සහ ආපදා සහන මෙහෙයුම් සඳහා බළඇණියේ සූදානම සහ එහි උපකරණ සමීපව නිරීක්ෂණය කරන ලදී.
2024 ඔක්තෝම්බර් 21 වන දින සේනාංකාධිපතිගේ දෙදින සංචාරය අතරතුර, ඔහු උඩවලව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපල, ශ්‍රී ලංකා හමුදා ඉංජිනේරු පාසල - තුංකම සහ ශ්‍රී ලංකා යුධ හමුදා පොදු සේවා බළකායේ පුහුණු පාසල, කුට්ටිගල, සංචාරය කලේය .මීට අමතරව, ඔහුගේ සංචාරයේදී ඇඹිලිපිටිය ජනාධිපති මන්දිරයේ ද නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මෙම සංචාරය සඳහා 572 පාබල බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.