Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

26th November 2023 09:40:21 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් දක්‍ෂිණ අධිවේගී මාර්ග අන්තර් හුවමාරු මධ්‍යස්ථානවල හදිසි සේවා සඳහා යෙදවූ භටපිරිස් හමුවෙයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය බදාදා (නොවැම්බර් මස 22) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර සිදුකරනු ලැබූ නිල සංචාරයෙන් අනතුරුව කොට්ටාව, ඊ-1 දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම් සහ පිටවීමේ හුවමාරුවේ හදිසි සේවා සඳහා යෙදවූ යුද්ධ හමුදා භටපිරිස් එම කටයුතුවල නිරතවන ආකාරය නිරීක්ෂණය කිරීමට කොට්ටාව අධිවේගී පිවිසුම අසළ නීරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

අධිවේගී මාර්ගවල ප්‍රවේශපත්‍ර නිකුත් කරන්නන් බදාදා (නොවැම්බර් මස 22) දින ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙන් අධිවේගී මාර්ග භාවිතා කරන ජනතාවට සිදුවන අපහසුතාවන් වැළැක්වීම සඳහා රජය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් යොදවන ලදී. කොට්ටාව සිට මාගම්පුර දක්වා වූ ඊ-1 අධිවේගී මාර්ගයේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඇතුළු කටයුතු සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු නිලධාරීන් 31 දෙනෙකු සහ සෙසු නිලයින් 233 දෙනෙකු යොදවා ඇත.

කොට්ටාව සිට මාගම්පුර දක්වා දිවෙන ඊ-1 දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ පිහිටි පිවිසුම්/පිටවීමේ අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 22 ක් තුළින් ප්‍රවේශවන සහ පිටවන රථ වාහන රියදුරන් සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමත් එම අන්තර් හුවමාරු මධ්‍යස්ථානයන් වෙත ආරක්‍ෂාව සැපයීමත් යුද්ධ හමුදා භටපිරිස් විසින් සිදුකරනු ලබයි.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මාකුඹුර අන්තර් හුවමාරුවේ රාජකාරියේ නියුතු භටපිරිස් සමඟ අදහස් හුවමාරු කරගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත හදිසි සේවාවන් පිළිබඳව ද අදහස් හුවමාරු කරගනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් මෙම සංචාරය සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.