Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

01st June 2023 15:46:48 Hours

ආරක්ෂක සේනා (බටහිර) භට පිරිස් පාසල් ළමුන් සදහා නායකත්ව වැඩසටහනක් පවත්වයි

ආරක්ෂක සේනා(බටහිර) යටතේ ඇති 143 පාබල බලසේනාවට අයත් 16 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් හලාවත සිරි සුජාතා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් 23 දෙනෙකු සඳහා 'නායකත්වය' යන මාතෘකාව යටතේ දෙදින පුහුණු වැඩමුළුවක් පාසල් බලධාරීන්ගේ ඉල්ලීම පරිදි 2023 මැයි 20 සහ 21 යන දිනයන්හිදී එම පාසල් පරිශ්‍රයේදී පවත්වන ලදී.

මෙම වැඩමුළුව ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති තුමන්ගේ උපදෙස් මත 143 පාබල බලසේනාවේ ආඥාපති තුමන්ගේ සහ 16 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී තුමන්ගේ මගපෙන්වීම යටතේ සිදුකල අතර මෙහිදී දේශන සැසි, කණ්ඩායම් ක්‍රියාකාරකම්, සාකච්ඡා සහ විනෝදාස්වාද වැඩසටහන් කිහිපයක්ද පැවැත්විණි. තවද මෙම වැඩමුළුවෙහි අරමුණ වූයේ ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නායකත්ව ගුණාංග වර්ධනය කර ඉහළ නැංවීමත්, අභියෝගවලට මුහුණ දීමටත්, විනයගරුකව තම දක්ෂතා සහ කුසලතා වර්ධනය කර ගැනීමත්ය.

තවද, වැඩමුළුව සාර්ථක කර ගැනීම සඳහා 16 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විශාල කාර්යභාරයක් ඉටු කළ අතර වැඩසටහන අතරතුර, භට පිරිස් විසින් නායකත්වයේ වැදගත්කම සහ එය වර්ධනය කර ගත යුතු ආකාරය අවබෝධ කර ගැනීමට උපකාර කරමින් ශිෂ්‍ය නායකයින් සමඟ ඔවුන්ගේ දැනුම සහ අත්දැකීම් බෙදා ගන්නා ලදී.

මෙම වැඩමුළුව සිරි සුජාතා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන්ටද බෙහෙවින් ප්‍රයෝජනවත් වැඩමුළුවක් වූ අතර ඔවුන් තම එදිනෙදා ජීවිතයේදී භාවිතා කළ හැකි නව නායකත්ව කුසලතා, ශිල්පීය ක්‍රම, ඔවුන්ගේ ඉදිරි කටයුතු සඳහා යොදා ගත හැකි කණ්ඩායම් ක්‍රියාකාරකම්, සන්නිවේදනය සහ නායකත්වයේ විනය පිළිබඳ වැදගත්කම අවබෝධ කර ගැනීමට ද මෙම වැඩමුළුව ඔවුන්ට උපකාර විය.