Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

13th March 2026 10:02:17 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් මූලික සෞඛ්‍ය පරික්‍ෂාවක් සහ වෛද්‍ය වැඩමුළුවක් පැවැත්වීම

බෝනොවන රෝග (Non-Communicable Diseases) වැළැක්වීම සහ සෞඛ්‍යමය ජීවන රටාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳ අධ්‍යාපනික වෛද්‍ය වැඩසටහනක් යුද්ධ හමුදා රෝහල - පල්ලෙකැලේ හිදී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන ශ්‍රි ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යායතනය (Sri Lanka College of Internal Medicine) සහ යුධ හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍යය සේවා අධක්‍ෂක මණ්ඩලය සමඟ සහයෝගයෙන් සංවිධානය කර තිබුණි. ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යායතනයේ ආරම්භක දිනය සනිටුහන් කිරීම සඳහා මෙය සංවිධානය කර ඇති අතර යුද්ධ හමුදා සාමාජිකයන් අතර ශාරීරික හා මානසික සෞඛ්‍යය රැකගැනීමේ වැදගත්කම පිළිබඳ දැනුවත්භාවය වැඩිදියුණු කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය. මෙම වැඩසටහන සඳහා 11 පාබල සේනාංක මුලස්ථානය හා එහි අධීක්ෂණයේ යටතේ ඇති පාබල බසේමුහි සහ අනෙකුත් යුද්ධ හමුදා ස්ථාන වලින් සෙබළුන් 250 ක පිරිසක් සහභාගී විය

වැඩසටහන අතරතුර වෛද්‍ය විශේෂඥයින් විසින් ශාරීරික ව්‍යායාම, නිසි ආහාර පුරුදු, මානසික ආතතිය පාලනය, නින්දේ සෞඛ්‍ය සම්පන්න රටා සහ බෝනොවන රෝග වැළැක්වීමේ ක්‍රම වැනි ප්‍රධාන සෞඛ්‍ය කරුණු පිළිබඳ දේශණ පැවැත්වීය. මෙම සැසි මඟින් සහභාගී වූවන්ගේ සෞඛ්‍යමය ජීවන රටාව පිළිබඳ දැනුම, ආකල්ප සහ පුරුදු වැඩිදියුණු කිරීම අරමුණ විය. අධ්‍යාපනික දේශන සමඟම සහභාගී වූ යුද්ධ හමුදා සාමාජිකයන් සඳහා මූලික සෞඛ්‍ය පරීක්ෂණ වැඩසටහනක්ද පැවැත්විණි. එහිදී රුධිර සීනි සහ කොලෙස්ටරෝල් පරීක්ෂණ සිදු කරන ලද අතර එය පරිවෘත්තීය සහ හෘද රෝග අවදානමට ලක්විය හැකි පුද්ගලයන් මුල් අදියරේ හඳුනාගැනීමට සහ රෝග වැළැක්වීමේ ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය කිරීමට උපකාරී විය

මෙම වැඩසටහන හරහා යුද්ධ හමුදා ප්‍රජාව තුළ නිරෝගී ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රතිරෝධක සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදී. සෞඛ්‍ය අධ්‍යාපනය සහ වෛද්‍ය පරීක්ෂණ එකට සම්බන්ධ කරමින් මෙම වැඩසටහන සෞඛ්‍ය අවදානම් පිළිබඳ දැනුවත්භාවය වැඩිදියුණු කිරීමටත් දිගුකාලීන සෞඛ්‍ය සුරක්ෂිතතාව සඳහා හොඳ පුරුදු ඇති කිරීමටත් දායක විය. ශ්‍රි ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යායතනය සහ යුද්ධ හමුදා සෞඛ්‍ය අංශ අතර සිදු වූ මෙම සමීප සහයෝගීතාවය යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සමස්ත සුවපහසුව සහ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට දායක විය.