30th January 2026 10:55:33 Hours
ග්‍රාමීය අධ්‍යාපනය නඟාසිටුවීම වෙනුවෙන් සහ “ක්ලීන් ශ්‍රී ලංකා” (Clean Sri Lanka) ජාතික වැඩසටහනට සමගාමීව, ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) මගින් සංවිධානය කරන ලද දැවැන්ත පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2026 ජනවාරි 30 වන දින අඹදණ්ඩේගම බ/බඹරගම මහා විද්‍යාලයේදී පවත්වන ලදී. එම විද්‍යාලයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාම දිරිමත් කිරීම වෙනුවෙන් පවත්වනු ලැබූ මෙම වැඩසටහන යටතේ, රුපියල් 1,000,000.00 (මිලියනයක) වටිනාකමකින් යුත් පහත සඳහන් දෑ පරිත්‍යාග කෙරිණි
• පාසල් නිල ඇඳුම් සහ පාවහන් • පාසල් බෑග් • සම්පූර්ණ අභ්‍යාස පොත් කට්ටල
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යුඑස්පි තුමන්ගේ සෘජු සම්බන්ධීකරණය සහ මඟපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය. යුද හමුදාව සහ සිවිල් සමාජය අතර පවතින ශක්තිමත් සබඳතාවය විදහා දක්වමින්, ගම්පහ හේනගම සුභසාධක සමිතියේ පූර්ණ මූල්‍ය අනුග්‍රහය මත මෙම මානුෂීය මෙහෙවර සිදු කරන ලදී.
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපතිතුමන් නියෝජනය කරමින් සිවිල් සම්බන්ධීකරණ නිලධාරී, හේනගම සුභසාධක සමිතියේ නියෝජිතයින්, ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායේ විශ්‍රාමික මේජර් ජෙනරාල් අරෝෂ් රාජපක්ෂ ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් සහ විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක් වූහ. දුෂ්කර ප්‍රදේශවල අඩු පහසුකම් සහිත ප්‍රජාවන් නඟාසිටුවීම සහ සිවිල්-හමුදා සහයෝගීතාව වර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව දක්වන කැපවීම මෙමගින් නැවත වරක් තහවුරු විය.