Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th October 2020 21:02:47 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදා ධජයන්ට සෙත්පැතීමේ ආශිර්වාද පිංකම ජය ශ්‍රී මහා බෝ සමිදු අභියසදී පැවැත්විණි

ඔක්තෝම්බර් මස 10 වන දිනට යෙදි තිබෙන 71 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමීව සියලු යුද්ධ හමුදා ධජයන්ට සෙත්පතමින් සිදුකරනු ලැබූ දෙවැනි ආගමික උත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී සැප්තැම්බර් 30 දින උදෑසන පැවැත්විණි. යුද්ධ හමුදා මූලස්ථානය, ස්වේච්ඡා බලසේනා මූලස්ථානය, සියලු ආරක්‍ෂක සේනා මූලස්ථාන, සියලු ඉදිරි නඩත්තු පෙදෙස් මූලස්ථාන, සේනාංක, බලසේනා, රෙජිමේන්තු, ඒකක සහ යුද්ධ හමුදා පුහුණු පාසල් නියෝජනය කරමින් ධජ රැගත් යුද්ධ හමුදා සෙබළුන් සියගණනක් ජය ශ්‍රී මහා බෝධියේ පහල වැලි මළුව වටා තෙවරක් සක්මන් කොට මැද මළුවේදී එම ධජයන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත භාරදුන්හ. සම්ප්‍රදායික ‘හේවිසි’ හා ‘මගුල් බෙර’ හඬ මධ්‍යයේ යුද්ධ හමුදාධිපතිතුමන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරින් බැතිබරව යුද්ධ හමුදා ධජයන් ජය ශ්‍රී මහා බෝ සමිදුන් වටා තැන්පත් කිරීමෙන් අනතුරුව ගරුතර මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කොට සියළු යුද්ධ හමුදා ධජයන්ට ආශිර්වාද එක් කළහ.

ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වටා පිච්ච මල් සහ නෙළුම් මල් ඇතිරූ යුද්ධ හමුදාධිපතිතුමන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රට රකින සියළු යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් සහ ඔවුන්ගේ සුභසිද්ධිය පතා ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාද පැතූහ.

එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, නියෝජ්‍ය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි, විධායක ජෙනරාල්, ආරක්‍ෂක සේනා මූලස්ථාන ආඥාපතිවරුන්, යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, සේනාවිධායකවරුන්, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.