Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

01st October 2019 17:43:12 Hours

ශ්‍රි ලංකාවේ ප්‍රමුඛතම සේවා සපයන්නා මෙන්ම මාතෘභූමියේ ආරක්‍ෂයා වන ශ්‍රි ලංකා යුද්ධ හමුදාව 70 වන සංවත්සරයට සමගාමීව ධජයන්ට සෙත්පැතිම

ශ්‍රි ලංකාවේ ප්‍රමුඛතම සේවා සපයන්නා මෙන්ම මාතෘභූමියේ ආරක්‍ෂයා ලෙස නිර්භීත හා පරාර්ථකාමී පරිත්‍යාගයන් සිදුකරමින් පසුගිය දිනවල අසමසම වාර්තාවන් පිහිට වූ ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 70 වන යුද්ධ හමුදා දිනයට (ඔක්තෝම්බර් 10) සමගාමීව වර්ණ ධජයන්ට ආශීර්වාද කිරීමේ ප්‍රථම ආගමික වැඩසටහක් 2019.09.28 වන දින උදෑසන ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපතිවන ලුතිනන් ජෙනරාල් එල් එච් එස් සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ප්‍රධානත්වයෙන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරිනියන් මෙන්ම සෙසුනිළයින් විශාල ප්‍රමණයක් මහනුවර ශ්‍රි දළඳා මාළිගාවේදී පවත්වනු ලැබීය.

එමෙන්ම එදින සම්ප්‍රදායික ශබ්ද පූජාවන් මධ්‍යයේ උතුම් දළඳා වහන්සේ වෙත සමන් පිච්ච මලින් පිරිණු මල් වට්ටියක් සමගින් ‘මුරුතැන්’ සහ ‘ගිලන්පස’ පූජාවක් සිදුකිරීමෙන් අනතුරුව ශ්‍රි දළඳා වහන්සේ වෙත සිදුකෙරන ආගමික වතාවත් සිදු කරන ලදි. පසුව උතුම් ශ්‍රි දළඳා වහන්සේ වෙත සිදුකෙරන සාම්ප්‍රදායික පූජාවන් හා ‘තේවාව’ කටයුතු නිමාවෙන් පසු යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රි දළඳා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල බණ්ඩාර මහතාව එතුමාගේ නිල කාර්යාලයේ දී හමුවු අතර, ශ්‍රි දළඳා මාළිගාවේ සංවර්ධන කටයුතු සඳහා මුල්‍යමය පරිත්‍යාගයක් ද සිදුකරන ලදි. මෙහිදි, දියවඩන නිලමේතුමන් යුද්ධ හමුදාවේ සංවත්සරය වෙනුවෙන් සුභපැතුම් ද එක් කළ අතර මේ අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.

ඉන් අනතුරුව, මහා සංඝරත්නය 70 නමක් විෂයෙහිලා පවත්වන ලද දානමය පිංකම සඳහා මල්වත්ත පාර්ශ්වයේ අති පූජ්‍ය තිබ්බෝටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමන්ගල මහානායක ස්වාමින් වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වයේ අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥාණරත්න මහානායක ස්වාමින් වහන්සේ ප්‍රධාන කොටගත් මහා සංඝරත්නය වැඩම කරන ලදි. යුද්ධ හමුදාධිපති තුමන් ඇතුළු යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙම දානමය පුණ්‍යකර්මයට වැඩමවා වඳාළ මහා සංඝරත්නය වෙත දානය පිළිගැන්වුහ. එහිදි, මහා සංඝරත්නය විසින් මාතෘභූමිය වෙනුවෙන් ශ්‍රි ලංකා යුද්ධ හමුදාව සිදුකරන්නාවු උතුම් සේවය අගය කරමින් එම කර්‍යයන් සාර්ථක වේවායි ආශිර්වාද කරමින් කෙටි අනුශාසනාවක් ද පවත්වන ලදි.

එසේම දානමය පිංකම අවසානයේ වර්ෂ 1949 සිට මව්බිමේ සාමයේ අරුණළු උදාකිරීම සඳහා දිවිපිදු සහ රණක්‍ෂිතයට පත් සියළුම විරෝදාර රණවිරුවන් වෙනුවෙන් ‘පැන්වඩා’ පිං පැමිණිවීම සිදුකරන ලද අතර සේවයේ යෙදි සිටින සියලු විරෝදාර රණවිරුවන් සඳහා ද ආශිර්වාද කරමින් සෙත් පැතීමක් ද සිදුකරනු ලැබීය. එහිදි, යුද්ධ හමුදාධිපතිතුමන්, ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, 11 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් මහා සංඝරත්නය වෙත අටපිරිකර සහ සෙසු පිරිකර පූජා කිරීමෙන් අනතුරුව පූජනීය වු උතුම් දළඳා වහන්සේ වැඩසිටිනා ‍ඓතිහාසික මහනුවර ශ්‍රි දළඳා මාළිගාවේදී පවත්වනු ලැබු උදෑසන ආගමික වතාවත් අවසන් විය.

අති පූජනීය වු උතුම් දළඳා වහන්සේ වැඩසිටිනා ඓතිහාසික මහනුවර ශ්‍රි දළඳා මාළිගාවේදී පවත්වනු ලැබු ආගමික වතාවත්වල දෙවැනි අදියර ලෙස යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම එදිනම සන්ධ්‍යාවේ සංකේතාත්මකව සිදුකෙරිණි. ශ්‍රි ලංකා යුද්ධ හමුදා ධජය ඇතුළු මව්බිමේ සාමයේ අරුණළු උදාකිරීමට දායකත්වය ලබාදුන් ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ ස්වේච්ඡා බලසේනාව, සියළුම ආරක්‍ෂක සේනා මූලස්ථාන, සේනාංක, බලසේනා, පුහුණු මධ්‍යස්ථාන, සියළුම රෙජිමේන්තු සහ ඒකකයන් හි වර්ණවත් ධජයන් රැගෙන එම අංශයන් නියෝජනය වන පරිදි යුද්ධ හමුදා නිලධාරින් මහත් අභිමානයෙන් හා ගෞරවයෙන් යුතුව ශ්‍රි දළඳා මාළිගාවේ ප්‍රධාන දොරටුව අසල සිට දළඳා මාළිගාවේ උතුම් දළඳා වහන්සේ වැඩසිටිනා පත්තිරිප්පුව පරිශ්‍රය වෙත ඉතා භක්තිමත්ව පැමිණියහ.

යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රධාන කොටගත් ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ ධජය ඇතුළු ශ්‍රි ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව, සියළුම ආරක්‍ෂක සේනා මූලස්ථාන, සේනාංක, බලසේනා, පුහුණු මධ්‍යස්ථාන, සියළුම රෙජිමේන්තු සහ ඒකකයන් හි වර්ණවත් ධජයන්හට ශ්‍රි දළඳා මාලිගාවේ තේවාව භාර ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් හා සෙත් පිරිත් සජ්ඣායනා කරමින් ආශිර්වාද කරන ලදී. ඉන්පසු මල්වතු විහාරයේ වත්මන් විහාරාධිපති පූජ්‍ය වල්ගොවගොඩ ශ්‍රි මේධන්කර විමලබුද්ධි හිමියන් ද ආගමික වතාවත් සඳහා වැඩමකර සිටියහ. අනතුරුව ආගමික උත්සවයට සමගාමීව පල්ලේකැලේ පිහිටි 11 වන සේනාංක භටපිරිස් විසින් එදින සන්ධ්‍යාවේ පූජනීය වු උතුම් ශ්‍රි දළඳා වහන්සේ වෙත ‘ගිලන්පස පූජාවක්’ ද පැවැත්වීමෙන් පසු වැඩසටහන නිමාවට පත් කරන ලදි.