Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd June 2020 10:37:32 Hours

විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් හිටපු ආමාත්‍ය ආරුමුගන් තොන්ඩමන් මහතාගේ අවසන් කටයුතු සිදු කෙරිණි

අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ප්‍රජා සවිබල ගැන්වීමේ සහ පසු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරය හෙබවූ ආරුමුගන් තොන්ඩමන් මහතා පසුගිය 26 වන දින අභාවප්‍රාප්ත විය. පාර්ලිමේන්තු පරිශ්‍රයේ තැම්පත්කර තිබූ එතුමන්ගේ දේහය 29 වන දින ගුවනින් ගම්පොල ප්‍රදේශයට රැගෙන ආ අතර,එහි සිට කොත්මලේ පිහිටි එතුමන්ගේ නිවස වෙත රැගෙන එන ලදි. පසු දින හැටන් කොටගල පිහිටි කම්කරු කොංග්‍රස් කාර්යාලය වෙත එතුමන්ගේ දේහය ගෙන එන ලදි.

නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇදිරි නීතිය පනවා තිබුණද ප්‍රදේශ රැසක ජනතාව එතුමන්ට අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියේය. රට තුල පවතින කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති ‌ මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සි කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ හා උපදෙස්මත විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සෞඛ්‍ය නිර්දේශ වලට යටත්ව පැමිණි ජනතාවට අවසන් ගෞරව දැක්වීමට යුද්ධ හමුදාව විසින් පියවර ගෙන තිබූණි.

මහා සංඝරත්නය,ආගමික නායකයින්,අග්‍රාමාත්‍යතුමන්,දේශපාලනඥයින්, ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන් හා මහජනයාගේ සහභාගීත්වයෙන් හැටන්,නොර්වුඩ් ක්‍රිඩාංගනයේදි එතුමන්ගේ අවසන් කටයුතු සිදු කරන ලදි.