Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th October 2020 21:14:24 Hours

71 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව පැවති ධජයන්ට සෙත් පැතීමේ ආශිර්වාද පූජාවන් දළදා සමිදුන් ඉදිරියේදී පැවැත්වෙයි

71 වන සංවත්සරයට සමගාමීව සියලුම යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීමේ ආගමික උත්සවයක් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 28 දින උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පවත්වන ලදී. මෙම ආගමික උත්සවයේ පළමු අදියර වශයෙන් ‘මුලුතැන්’ සහ ‘ගිලන්පස’ පූජාවක් ද පැවැති අතර එහිදී පැවති සියළු සාම්ප්‍රදායික චාරිත්‍රයන් අවසානයේ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් අභියස යුද්ධ හමුදාධිපතිතුමන් විසින් කරන ලද මූල්‍යමය පරිත්‍යාගය පිළිගත් දියවඩන නිලමේතුමන් විසින් 71 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් සිය සුභාෂිංශනයන් එක් කළේය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් අස්ගිරි පාර්ශවයේ මහනායක හිමිපාණන් ප්‍රමුඛ භික්‍ෂූන් වහන්සේලා 71 නමකට සංඝගත දක්‍ෂිනාවක් පිරිනමනු ලැබිණි. එහිදි, මහා සංඝරත්නය විසින් මාතෘභූමිය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිදුකරන්නාවු උතුම් සේවය ඇගයීමට ලක් කරන ලදි. එසේම දානමය පිංකම අවසානයේ මව්බිමේ සාමයේ අරුණළු උදාකිරීම සඳහා දිවිපිදු සහ රණක්‍ෂිතයට පත් සියළුම විරෝධාර රණවිරුවන් වෙනුවෙන් ‘පැන්වඩා’ පිං පැමිණිවීම සිදුකරන ලද අතර සේවයේ යෙදි සිටින සියලු විරෝධාර රණවිරුවන් සඳහා ද ආශිර්වාද කරමින් සෙත් පැතීමක් ද සිදුකරනු ලැබීය. එහිදි, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් මහා සංඝරත්නය වෙත අටපිරිකර සහ සෙසු පිරිකර පූජා කිරීමෙන් අනතුරුව දෙවැනි අදියර ලෙස යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම එදින සන්ධ්‍යාවේ සංකේතාත්මකව සිදුකෙරිණි. යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රධාන කොටගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ධජය ඇතුළු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව, සියළුම ආරක්‍ෂක සේනා මූලස්ථාන, සේනාංක, බලසේනා, පුහුණු මධ්‍යස්ථාන, සියළුම රෙජිමේන්තු සහ ඒකකයන් හි වර්ණවත් ධජයන්ට මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් හා සෙත් පිරිත් සජ්ඣායනා කරමින් ආශිර්වාද කරන ලදී.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, නියෝජ්‍ය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි, විධායක ජෙනරාල්, ආරක්‍ෂක සේනා මූලස්ථාන ආඥාපතිවරුන්, යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, සේනාවිධායකවරුන්, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.