28th February 2026 17:38:49 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් 2026 පෙබරවාරි මස 26 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ගැබිනි කාන්තා සෙබළියන්ට ත්‍යාග පාර්සල් සහ යුද්ධ හමුදා සාමාජිකයින්ට හා සිවිල් සේවක මහතුන්ට මූල්‍යමය ආධාර ලබා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.
වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය සහභාගී විය.
වැඩසටහන අතරතුරදී, ශ්‍රී ලංකා සංඥා බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරිනියකු වෙත නව නිවසක් ඉදිකිරීම සඳහා මූල්‍යමය ආධාර වශයෙන් රු. 650,000.00 ක මුදලක් ප්‍රදානය කරන ලදී. ඊට අමතරව, සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සිව්දෙනෙකුට රු. 500,000.00 බැගින් සහ සිවිල් සේවක මහතුන් දෙදෙනෙකු වෙත රු. 450,000.00 බැගින් නිවාස ඉදිකිරීම සඳහා මූල්‍යමය ආධාර ලබා දෙන ලදී.
එමෙන්ම, රෝගාතුරව ප්‍රතිකාර ලබන, සේවයේ නියුතු හමුදා සාමාජිකයන්ගේ දරුවන් දෙදෙනෙකු වෙනුවෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා රු. 100,000.00 බැගින් වූ මූල්‍යමය ප්‍රදාන දෙකක් ලබා දෙන ලදී. යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් හඳුන්වා දුන් නව සංකල්පයක් මත නිවාස නොමැති හමුදා සාමාජිකයන් සඳහා නිවාස ඉදිකිරීමට රු. 1,500,000.00 ක මූල්‍යමය ප්‍රදාන ලබාදීමේ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව, එම නිවාස සඳහා වූ මූල්‍යමය ප්‍රදානයන්හි අවසාන වාරිකය කමාන්ඩෝ රෙජිමේන්තුවේ රාජකාරි කරනු ලබන හමුදා සාමාජිකයෙකු වෙත ප්‍රදානය කරන ලද අතර, එහිදී ඔහුට රු. 500,000.00 ක් හිමිවිය. ඊට අමතරව, සිවිල් සේවක මහතෙකු වෙතද ඔහුගේ නිවස ඉදිකිරීම සඳහා අවසාන වාරිකය ලෙස රු. 150,000.00 ක මූල්‍යමය ප්‍රදානයක් පිරිනමන ලදී.
තවද, මියගිය සහ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයෙකුගේ සහ සිවිල් සේවක මහතෙකුගේ පවුල් සඳහා ඔවුන්ගේ ස්වයං රැකියා කටයුතු වෙනුවෙන් සහාය වීම සඳහා මහන මැෂින් තුනක් පරිත්‍යාග කරන ලදී. මීට අමතරව, කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සමින්දි වික්‍රමරත්න මහත්මිය විසින් පරිත්‍යාග කරන ලද ලැප්ටොප් පරිගණක තුනක් උසස් අධ්‍යාපනය හදාරන සේවයේ නියුතු හමුදා සාමාජිකයෙකුගේ සහ සිවිල් සේවක මහතුන් දෙදෙනෙකුගේ දියණියන් වෙත ප්‍රදානය කරන ලදී.
ඉන්පසුව, යුද්ධ හමුදා සංස්කෘතික නර්තන කණ්ඩායම විසින් මාතෘත්වය පිළිබඳව නිරූපණය කරන සංවේදී සහ අලංකාරවත් නර්තනයක් ඉදිරිපත් කරන ලද අතර, පසුව ගැබිනි කාන්තා සෙබළියන් 146 දෙනෙකු වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ වියළි සලාක අඩංගු ත්‍යාග පාර්සල් ප්‍රදානය කරන ලදී.
ඒ අනුව එම පරිත්‍යාග වැඩසටහන සඳහා රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් රු. 6,275,737.00 ක මුදලක් දරනු ලැබීය.