26th February 2026 09:18:02 Hours
අභාවප්‍රාප්ත කෝප්‍රල් ඒ.පී. තල්ගස්පිටිය RSP ගේ පවුලේ සාමාජිකයන්ට අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ ලබාදීමේ සහ ඔහුගේ දරුවන්ට පාසල් උපකරණ පිරිනැමීමේ වැඩසටහනක් 2026 ජනවාරි මස 24 වන දින කොමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. 1 වන කොමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් මෙම අභාවප්‍රාප්ත කොමිෂන් නොලත් නිලධාරි, ක්‍රියාන්විත රාජකාරිවල නිරතව සිටියදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් තුවාල ලබා ආබාධිත තත්ත්වයට පත්ව සිටියේය. පසුව එම තත්ත්වය හේතුවෙන් ඔහුව වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ අතර, විශ්‍රාම ගැනීමෙන් පසු ඇති වූ හදිසි රෝගාබාධයක් හේතුවෙන් ඔහු අභාවප්‍රාප්ත විය.
කොමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ කමිටු සාමාජිකා චම්පිකා පල්ලියගුරුගේ මහත්මියගේ සම්බන්ධීකරණයෙන් සංවිධානය කරන ලද මෙම සුභසාධන වැඩසටහන එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සමින්දි වික්‍රමරත්න මහත්මියගේ අනුග්‍රහය ඇතිව රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබීය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස්. වික්‍රමරත්න RSP සමඟින් තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙම අවස්ථාව අතරතුර, අභාවප්‍රාප්ත කෝප්‍රල්වරයාගේ අඩක් නිම කර තිබූ නිවසේ වැඩකටයුතු නිම කිරීම සහ ඔහුගේ බිරිඳට ස්වයං රැකියාවක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සහය ලබාදීම පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කරන ලදී.