Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

26th February 2026 12:40:49 Hours

ත්‍රිකුණාමලයේ පැවැත්වූ සුබසාධන කඳවුර සහ ප්‍රදානෝත්සවයේ 9 වන අදියර සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය එක්වෙයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ මඟපෙන්වීම යටතේ, රණවිරු සේවා සහ පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද සුබසාධන කඳවුර සහ ප්‍රදානෝත්සවයේ 9 වන අදියර, 2026 පෙබරවාරි මස 24 දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි 22 වන පාබල සේනාංක මූලස්ථානයේදී පවත්වන ලදී.

කෘත්‍රිම අත් පා සහ ශල්‍ය උපකරණ භාවිතා කරන ආබාධිත රණවිරුවන්, වෛද්‍ය හේතුන්මත විශ්‍රාමික ගැන්වූ රණවිරුවන්, මියගිය රණවිරුවන්ගේ ළඟම ඥාතීන්ට සහ සේවයේ නියුතු රණවිරුවන්ගේ පවුලේ සාමාජිකයන්හට සහාය වීම සඳහා මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන අතරතුරදී, රාජකාරියේ නිරතව සිටියදී තුවාල ලැබූ සෙබළුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් ඇස් සායනයක් පැවැත් වීම හා ප්‍රතිලාභීන් වෙත රෝද පුටු සහ ඇවිදීමට උපකාර වන ආධාරක බෙදා දෙන ලදී. 1,500 කට අධික පිරිසක් මෙම වැඩසටහනට සහභාගී වූ අතර, පැමිණ සිටි සියලු දෙනා සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මියගේ අධීක්ෂණය යටතේ සහභාගී වූ සියලුම දෙනා වෙනුවෙන් දිවා ආහාරය පිරිනමන ලදී.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන්, විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.