20th January 2026 22:18:36 Hours
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සාමාජිකයන්ගේ පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සහාය වීමේ අරමුණින් විශේෂ සුභසාධන වැඩසටහනක් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සේවා වනිතා ශාඛාව විසින් සංවිධානය කරන ලදී. එහිදී , 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන් 145 දෙනෙකු සුදුසුකම් ලැබූ අතර, ඔවුන් අතරින් ළමුන් 28 දෙනෙකු සඳහා 2026 ජනවාරි මස 18 වන දින එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී සංකේතාත්මක පාසල් උපකරණ බෙදාදෙන ලදී.
මෙම උත්සවය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී කුමාරි පල්ලේකුඹුර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර, ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලේකුඹුර RWP RSP ndu psc ගේ මඟ පෙන්වීම යටතේ එම සේවා බලමුළු වනිතා ශාඛාවේ සාමාජිකාවන්ගේ සහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහාය ඇතිව සංවිධානය කරන ලදී.
එහිදී සෑම ළමයෙකු වෙතම ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අත්‍යවශ්‍ය පාසල් උපකරණ සහ පාසල් නිල ඇඳුමක් අඩංගු පාර්සලයක් පරිත්‍යාග කරන ලදී. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති, එම බලමුළු සේවා වනිතා ශාඛාවේ විධායක කමිටු සහ අනෙකුත් සාමාජිකාවන්, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් සහභාගී වූහ.