17th December 2025 12:56:03 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික සභා රැස්වීම 2025 දෙසැම්බර් මස 12 වන දින එම ඒකකයේ සභාපතිනී ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවති අතර, ඒ සඳහා යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් එම සේවා වනිතා ශාඛාවන්හි සභාපතිනියන් සහභාගි වූහ.
මාසික සභා රැස්වීමේ කටයුතු ආරම්භ කරමින් සේවා වනිතා ගීතය ගායනා කර පසුව රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිපත් කිරීම සඳහා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීය. ඉන්පසුව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවන්හි සුභසාධන වැඩසටහන් සහ අනෙකුත් ක්‍රියාකාරකම් ඇතුළත් කෙටි වාර්තාමය වීඩීයෝ පටයක් ප්‍රදර්ශනය කරන ලදී. අනතුරුව, සභාපතිනිය රැස්ව සිටි පිරිස අමතා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ව්‍යවස්ථාවට අනුකූලව විධායක කමිටුවේ පුරප්පාඩු වූ තනතුරු සඳහා ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් පත් කරන ලදී.
මහජන සම්බන්ධතා නිලධාරි - උදාරි අනුපමා ගමගේ මහත්මිය.
සහකාර මහජන සම්බන්ධතා නිලධාරි - සුමංගලී පතිරවිතාන මහත්මිය.
ව්‍යාපෘති භාර සම්බන්ධීකාරක නිලධාරි - අනුපමා රත්නායක මහත්මිය.
ඉන්පසුව, සේවා වනිතා ඒකකයේ ලේකම් දර්ශනී යහම්පත් මහත්මිය විසින් පසුගිය සභා වාරයේ වාර්ථාව ඉදිරිපත් කරන ලද අතර, භාණ්ඩාගාරික මේජර් ඒ.එස්.එන් හතුරුසිංහ විසින් විගණන වාර්තාව ඉදිරිපත් කරන ලදී.
පසුව, රණවිරුවන්ගේ සුභසාධන සඳහා නවතමයෙන් හඳුන්වා දුන් සුභසාධන වැඩසටහන් සහ වාර්ෂික සුභසාධන ව්‍යාපෘති ඵලදායී ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව සභාපතිතුමිය විසින් අදාල උපදෙස් ලබා දුන් අතර, සෑම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවක් සඳහාම රුපියල් 500,000.00 ක ණය මුදලක් ලබා දීම පිළිබඳවද යෝජනා කරන ලදී. එම ණය මුදල නැවත ගෙවීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳව පැහැදිලි කරමින් එම යෝජනාව අනුමත කර එහිදී සේවා වනිතා ඒකකයේ ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලදී.
රැස්වීමේ කටයුතු අවසන් කරමින් ජාතික ගීය ගායනා කර පසුව, තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී වී සමූහ ඡායාරූපයක් සඳහා ද පෙනී සිටිනු ලැබීය.