Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

27th August 2025 10:06:37 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික මහසභා රැස්වීම සාර්ථකව අවසන්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 41 වන වාර්ෂික මහසභා රැස්වීම 2025 අගෝස්තු මස 22 දින යුද්ධ හමුදා මූලස්ථාන බහුකාර්ය ශාලාවේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය සහභාගි විය.

උත්සවයේ කටයුතු ආරම්භ කරමින් සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දල්වා සේවා වනිතා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ අභාවප්‍රාප්ත හිටපු සභාපතිනියන් සිහිපත් කිරීම සඳහා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලැබීය.

ඉන් පසුව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය පිළිබඳව සකස් කරන ලද වාර්තාමය වීඩියෝපටයක් ප්‍රදර්ශනය කිරීමෙන් පසුව න්‍යාය පත්‍රයට අනුව රැස්වීමේ කටයුතු ආරම්භ විය.

අනතුරුව, වාර්ෂික මහසභා රැස්වීම ආරම්භ කරමින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ඉදිරි සැලසුම් සහ යෝජිත ව්‍යාපෘතින් පිළිබඳව සාමාජිකාවන් දැනුවත් කළාය. ඉන්පසුව, එම ඒකකයේ ලේකම් දර්ශනී යහම්පත් මහත්මිය විසින් පසුගිය සභාවාරයේ වාර්තාව ඉදිරිපත් කරන ලද අතර, භාණ්ඩාගාරික මේජර් ඒ.එස්.එන් හතුරුසිංහ විසින් ආදායම් හා වියදම් වාර්තාව ඉදිරිපත් කරන ලදී.

ඉන්පසුව, සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් මෙතෙක් සිදුකරන ලද සමාජ සුභසාධන වැඩසටහන් පිළිබඳ විස්තර සහ ඡායාරූප ඇතුළත් ව්‍යාපෘති වාර්තාවක් සේවා වනිතා ඒකකයේ විධායක ලේකම් මේජර් සී.ටී ජෝෂප් විසින් සභාව වෙත ඉදිරිපත් කරන ලදී.

අනතුරුව, රෙජිමේන්තු සේවා වනිතා එකකයන් විසින් සිදුකළ සහ සිදුකිරීමට නියමිත සුභසාධන ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා කරන ලදී.

වාර්ෂික මහසභා රැස්වීම අවසානයේදී සේවා වනිතා ඒකකයේ ලේකම්වරිය ස්තූති කතාව සිදුකළ අතර, පසුව කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මියගේ මඟපෙන්වීම යටතේ IICA ආයතනය විසින් පවත්වන ලද ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන පාඨමාලාව සාර්ථකව හදාරන ලද නිලධාරින්ගේ සහ සෙසුනිලයන්ගේ භාර්යාවන් 15 දෙනෙකුගෙන් 10 දෙනෙකු වෙත සහතිකපත්‍ර ප්‍රදානය කරනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමියගේ සංකල්පයකට අනුව නිවසක් ඉදිකර ගැනීමට ආර්ථික දුෂ්කරතාවයන් පවතින යුද්ධ හමුදා සාමාජිකයන් සඳහා නව නිවසක් ඉදිකරදීම සඳහා වූ වැඩසටහන යටතේ සෙසුනිලයන් දෙදෙනෙකු සහ සිවිල් සේවක මහතෙකු වෙත රුපියල් ලක්‍ෂ පහලොවක (රු. 1,500,000.00) මූල්‍යමය ආධාර ප්‍රදානය කරනු ලැබූහ.

ඉන්පසුව, යුද්ධ හමුදා සාමාජිකයන්ගේ අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාසවල ඉදිකිරීම් කටයුතු සඳහා යුද්ධ හමුදා සාමාජිකයන් තිදෙනෙකු වෙත රුපියල් හාරලක්‍ෂ පනස් දහසක් (රු. 450,000.00) බැගින් සහ යුද්ධ හමුදා සිවිල් සේවක මහතුන්ගේ අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාසවල ඉදිකිරීම් කටයුතු සඳහා සිවිල් සිවිල් සේවක මහතුන් තිදෙනෙකු වෙත රුපියල් ලක්‍ෂ තුනක් (රු. 300,000.00) බැගින් වූ මූල්‍යමය පරිත්‍යාගයන් සිදුකරන ලදී.

තවද, යුද්ධ හමුදා සාමාජිකයෙකුගේ භාර්යාවකගේ සහ තවත් යුද්ධ හමුදා සාමාජිකයෙකුගේ දියණියකගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා රුපියල් ලක්‍ෂයක් (රු. 100,000.00) බැගින් වෛද්‍ය ආධාර දෙකක් ද ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කෝප්‍රල් බී.ආර් නුවන් ප්‍රදීප්ගේ නිවුන් දරුවන් සඳහා කිරිපිටි මිලදී ගැනීමට මසකට රුපියල් අටදහස (රු. 8,000.00) බැගින් වසරක කාලයක් සඳහා රුපියල් අනූහයදහසක (රු. 96,000.00) මුදලක් ද ප්‍රදානයක් කරනු ලැබීය.

එසේම, අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාස ඉදිකිරීම සඳහා ලබාදෙන මූල්‍ය පරිත්‍යාග දෙවන අදියර යටතේ යුද්ධ හමුදාවේ සේවයේ නියුතු සිවිල් සේවක මහතෙකු වන එච්.එන්.එම්.වී.එල් මධුසංඛ වෙත රුපියල් ලක්‍ෂයක් (රු. 100,000.00) ප්‍ර‍දානය කරනු ලැබීය.

යුද්ධ හමුදා නර්තන කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද නර්තනයන්ගෙන් මෙම අවස්ථාව වර්ණවත් වූ අතර, ජාතික ගීය ගායනා කිරීමෙන් පසුව උත්සවයේ කටයුතු අවසන් විය. අනතුරුව, රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවන්හි සියලුම සභාපතිනියන් සහ සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් තේ පැන් සංග්‍රහයක් සඳහා එක් වෙමින් සුහද කතාබහක නිරත වී සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.