Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

16th August 2025 18:25:55 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් වැලිපිටිය ප්‍රදේශයේ ගැබිනි මව්වරුන් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දෙයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මියගේ මඟපෙන්වීම යටතේ, මාතර, වැලිපිටිය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල ගැබිනි මව්වරුන් 62 දෙනෙකු සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් 2025 අගෝස්තු මස 13 දින වැලිපිටිය ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.

ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරාධිපති හිමියන් විසින් පිළිගැනීමේ කතාව පැවැත්වීමෙන් අනතුරුව උත්සවයේ වැඩකටයුතු ආරම්භවූ අතර අනතුරුව, රූපලාවන්‍ය ශිල්පිනී චාන්දනී බණ්ඩාර මහත්මිය විසින් ගර්භණී සමයේදී රූපලාවන්‍ය සත්කාර පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් පවත්වන ලදී. පසුව, මනෝචිකිත්සක උපදේශක කේ.එච්. ධනුජ මහේෂ් මහතා විසින් ගර්භණී සමයේදී මව්වරුන්ගේ මානසික ඒකාග්‍රතාවය සහ පෞද්ගලික යහපැවැත්ම කෙරෙහි බලපාන ධනාත්මක සහ ඍණාත්මක බලපෑම් පිළිබඳව දේශනයක් පවත්වන ලද අතර, නිරෝගී දරුවෙකු බිහි කිරීම සඳහා සෞඛ්‍ය සම්පන්න මානසික තත්වයක් පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳවද අවධාරණය කරන ලදී.

එසේම, වැලිපිටිය ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියක් විසින් නිවැරදිව දරු ප්‍රසූතිය සිදුකරන ආකාරය සහ දරුවා බිහිකිරීමෙන් පසු රැකබලා ගන්නා ආකාරය පිළිබඳ දේශනයක් පවත්වන ලදී. ඉන්පසු, යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිය සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් විසින් ඒ සඳහා සහභාගි වූ සියලු ගර්භනී මව්වරුන් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් ත්‍යාග පාර්සල් බෙදා දෙන ලදී.

දිවා භෝජන සංග්‍රහයකින් උත්සවයේ වැඩකටයුතු අවසන් වූ අතර, මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, වෛද්‍ය නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.