Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

04th August 2025 15:33:10 Hours

‘රණවිරු මා පිය වන්දනාව - 2025‘ හි දෙවන අදියර සාර්ථකව පවත්වයි

මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ දෙමාපියන් වෙත උපහාර පිරිනැමීමේ ‘රණවිරු මා පිය වන්දනාව - 2025‘ හි දෙවන අදියර අනුස්මරණ උත්සවය 2025 ජූලි මස 27 දින ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න RWP RSP ගේ මඟපෙන්වීම සහ ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ආචාර්ය දිල්රුක්‍ෂි විමලරත්න මහත්මියගේ අධීක්‍ෂණය මත මෙම උත්සවය පැවැත්විණි.

උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් රෙජිමේන්තු මධ්‍යස්ථාන විහාරස්ථානයේදී ධර්ම දේශනාවක් පැවැත්වීමෙන් අනතුරුව රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකෙරිණි. අනතුරුව, දිවංගත රණවිරුවන්ගේ දෙමාපියන් විසින් සිදුකළ කැපකිරීම පිළිබඳ සිහිපත් කරමින් ලුතිනන් කර්නල් සුජිත් චමින්ද එදිරිසිංහ විසින් විශේෂ දේශනයක් සිදුකරන ලදී. පසුව, ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය විසින් ආරාධිත දේශනය සිදුකළ ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත කෘතඥතාවය පිරිනමමින් සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

පසුව, ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති විසින් රෙජිමේන්තු ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරමින් සිටියදී ආබාධිත වූ ලාන්ස් කෝප්‍රල් යූ.ජී සරත් වෙත රෝද පුටුවක් ප්‍රදානය කරන ලදී. අනතුරුව, ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය සහ එම ශාඛාවේ සාමාජිකාවන් විසින් මෙම අවස්ථාව සඳහා සහභාගිවූවන් වෙත විශේෂ සිහිවටන ප්‍රදානය කරන ලදී.

එම රණවිරු දෙමාපියන්ගේ ගැටළුවලට සවන්දීම සහ අවශ්‍ය සහයෝගය ලබාදීම වෙනුවෙන් සංවිධානය කළ මෙම වැඩසටහන සමාප්තියේ ඔවුන්ගේ ගැටළු නිරාකරණය කරගැනීම වෙනුවෙන් විශේෂ උපකාරක වැඩසටහනක් ද පැවැත්විණි. මෙම අවස්ථාවට එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ දිවංගත රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් පිරිසක් සහභාගි වූහ.