Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

25th June 2025 16:00:44 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මියගේ මඟපෙන්වීම මත යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සුභසාධන කටයුතු වැඩිදියුණු කිරීමේ අරමුණින් 2025 ජුනි මස 24 දින යුද්ධ හමුදා සේවා වනිතා ඒකක කාර්යාල පරිශ්‍රයේදී පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය. වැඩසටහන අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් රුපියල් මිලියන 5 ක් වටිනා Meridian චිකිත්සක යන්ත්‍රයක් රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ වෙත නිල වශයෙන් භාර දෙන ලදී. අභිමන්සල සුවතා නිකේතනවල නේවාසිකව ස්නායු ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම උපකරණය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනියගේ සම්බන්ධීකරණයෙන් චීන ජාතික ඔන්ග් වී යීන් මහතා විසින් පරිත්‍යාග කරන ලදී.

ඒ අනුව, මෙම අවස්ථාවේදී ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන 19 න් පහළ නෙට්බෝල් තරඟාවලියට සහභාගීවීමට නියමිත දිවංගත මේජර් එම්.ජී විජේසේන නිලධාරිගේ දියණිය වෙත රු. 100,000.00 ක පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය. මීට අමතරව, රත්නපුර, කෙහෙල්ඕවිට විද්‍යාලයේ තොරතුරු තාක්‍ෂණ අධ්‍යයනය සඳහා පවතින අඩු පහසුකම් සපුරාලමින් එම විද්‍යාලය වෙත පරිගණකයක් ද පරිත්‍යාග කරන ලදී.

එමෙන්ම, අභිමංසල I සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවෙකු වෙත නිවසක් ඉදිකරගැනීම සඳහා මූලික වාරිකය වශයෙන් රු. 400,000.00 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකෙරුණු අතර අයවැය සහ මුදල් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සිවිල් සේවක මහතෙකු වෙත රු. 200,000.00 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකෙරිණි.

එසේම, යුද්ධ හමුදා සාමාජිකයන්ගේ දරු දැරියන් පස් දෙනෙකුගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු සඳහා රු. 100,000.00 බැගින් මෙහිදී ප්‍රදානය කරන ලදී. 5 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ ත්‍රිත්ව නිවුන් දරුවන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් කිරි පැකට් මිලදී ගැනීම සඳහා රු. 144,000.00 ක මූල්‍ය පරිත්‍යාගයක් ද මෙම වැඩසටහන අතරතුරදී සිදුකරනු ලැබීය.

එමෙන්ම, නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ, යුද්ධ හමුදා සාමාජිකයෙකු වෙත රුපියල් 200,000.00 ක්, තවත් යුද්ධ හමුදා සාමාජිකයන් තිදෙනෙකු වෙත රුපියල් 150,000 ක් සහ සිවිල් සේවක මහතෙකු වෙත රුපියල් 100,000 ක මූල්‍ය පරිත්‍යාගයක් ද සිදුකරන ලදී.