31st May 2025 15:39:08 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි එච්.ජී ස්වර්ණලතා මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් 2025 මැයි මස 28 දින අභිමංසල - 3 සුවතා නිකේතනයේ සංචාරයක නිරතවිය.
මෙම සංචාරය අතරතුරදී, එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් රණක්‍ෂිතයට පත්ව නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් වෙත තේ පැන් සංග්‍රහයක් සමඟින් කෙටි ආහාර පිරිනැමීය. පසුව, ඔවුන්ගේ පුද්ගලික භාවිතය සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු ත්‍යාග පාර්සල් ද පිරිනැමිණි.
පසුව, සංගීතමය වැඩසටහනක් පැවැත්වීමෙන් අනතුරුව මෙම අවස්ථාව සඳහා සහභාගි වූවන් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ. මෙම සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමි බලකා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.