Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

21st May 2025 21:35:15 Hours

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් සුභසාධන සහ පරිත්‍යාග වැඩසටහන් මාලාවක්

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අයේෂා ලියනගේ මහත්මියගේ මඟපෙන්වීම මත 2025 මැයි මස 15 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සුභසාධන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.

මෙම වැඩසටහන අතරතුරදී, යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පවුල්වල යහපැවැත්මට සහය දැක්වීමේ අරමුණින් වයස අවුරුදු 10 ත් 14 ත් අතර ශ්‍රී ලංකා සංඥා බලකා සාමාජිකයන්ගේ දියණියන් වෙනුවෙන් නිමි ඇඳුම් පරිත්‍යාග කෙරිණි.

එමෙන්ම, දරු ප්‍රසූතියේදී මවගේ වියෝ වූ නිවුන් දියණියන් දෙදෙනෙකුගේ පියෙකු වන 2 (ස්වේච්ඡා) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙත කිරිපිටි පැකට් 40 ක් ද පරිත්‍යාග කෙරිණි.

එමෙන්ම, එම සේවා වනිතා ශාඛාව වෙතින් 2025 මැයි මස 09 දින ශල්‍යකර්මයකට භාජනය කෙරුණු කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ භාර්යාවක් වෙත ශල්‍ය පටියක් මිලදී ගැනීම සඳහා මූල්‍ය ආධාර පිරිනමනු ලැබීය.

එමෙන්ම, 2025 මැයි මස 14 දින හොරණ ප්‍රදේශයේ පදිංචි 4 රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ දරුණු පෙනහළු රෝගයකට ප්‍රතිකාර ලබමින් සිටින මාස හතරක් වයසැති පුතණුවන් වෙත ප්‍රතිකාර කටයුතු සඳහා භාවිතා කිරීමට රුපියල් 10,000 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය.

එදිනම, මීගොඩ ප්‍රදේශයේ පදිංචි 11 රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකාය යටතේ සේවයේ නියුතු සිවිල් සේවක මහතෙකුගේ භාර්යාව දරුණු ස්නායු ආබාධයකින් පෙළෙන බැවින්, එම පවුලේ සාමාජිකයන් වෙත ආධාර කිරීමේ අරමුණින් රුපියල් 10,000 ක වියළි ආහාර සලාක පාර්සලයක් පරිත්‍යාග කරනු ලැබීය.