Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

11th March 2025 12:52:15 Hours

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සැමරුම් උත්සවයක් පැවැත්වෙයි

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් 2025 මාර්තු මස 08 දින කොළඹ, ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් පරිශ්‍රයේදී සැමරුම් උත්සවයක් පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය සහභාගි විය‍. උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව යුද්ධ හමුදා සේවා වනිතා ගීතය ගායනා කර, දිවංගත රණවිරුවන් අනුස්මරණය කරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලැබීය. ඉන් අනතුරුව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවන් වෙතින් ක්‍රියාත්මක කරනු ලබන සුභසාධන වැඩසටහන් පිළිබඳව සැකසූ කෙටි වීඩියෝපටයක් ප්‍රදර්ශනය කෙරිණි.

අනතුරුව, 4EVER Skin Naturals පුද්ගලික සමාගමේ සභාපතිනි චාන්දනී බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් රූපලාවන්‍ය සත්කාර වැඩමුළුවක් පැවති අතර, එම අවස්ථාව සඳහා සහභාගි වූවන් වෙත එම සමාගමේ නිෂ්පාදනයන් ද පිරිනමන ලදී. මෙම අවස්ථාව සඳහා චාන්දනී බණ්ඩාර මහත්මියගේ සහභාගිත්වය ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් එතුමිය වෙත විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

ඉන් පසුව, ගර්භනී කාන්තා නිලධාරිනියන් 16 දෙනෙකු වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමක් ද මෙහිදී සිදුකෙරිණි. අනතුරුව, ඉන්දිරා පිළිකා භාරයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක මහත්මිය විසින් දේශනයක් පවත්වමින් පියයුරු පිළිකා පිළිබඳව සහ ස්වයං පරීක්‍ෂණවල වැදගත්කම පිළිබඳව සහභාගි වූවන් දැනුවත් කරන ලදී.

උත්සවය වර්ණවත් කිරීම සඳහා රෙජිමේන්තු සේවා වනිතා ශාඛා 24 හි සාමාජිකාවන් විසින් තම කලා හැකියාවන් ඉදිරිපත් කළ අතර, යුද්ධ හමුදා නර්තන කණ්ඩායම ද වර්ණවත් රංගනයන් ඉදිරිපත් කරන ලදී.

මෙම අවස්ථාවට රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවල සභාපතිනියන් සහ සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් ද සහභාගි වූහ.