07th March 2025 12:36:17 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මියගේ මඟපෙන්වීම මත යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ දුවා දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් 2025 මාර්තු මස 03 දින යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.
ඒ අනුව, 2024 වර්ෂයේදී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, 2023 වර්ෂයේදී අ.පො.ස. (සා/පෙළ) සහ අ.පො.ස. (උ/පෙළ) විභාගවලින් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ සිසු සිසුවියන් 232 දෙනෙකු වෙත මෙම වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරිණි. වැඩසටහන අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය සහ අනෙකුත් ආරාධිත අමුත්තන් විසින් ප්‍රතිලාභී සිසු සිසුවියන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලැබූහ. මෙම අවස්ථාව වර්ණවත් කරමින් යුද්ධ හමුදා නර්තන කණ්ඩායම විසින් නර්තන අංගයන් කිහිපයක් ද ඉදිරිපත් කරන ලදී.
මෙම වැඩසටහන සඳහා රුපියල් 10,260,000.00 ක මුදලක් වැය කරන ලද අතර, ඒ සඳහා යුද්ධ හමුදාධිපති සුභසාධන අරමුදල තුළින් රුපියල් 7,060,000.00 ක මුදලක් පිරිනැමූ අතර, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් එම දරු දැරියන් 232 දෙනා වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම වෙනුවෙන් රුපියල් 3,200,000.00 ක මුදලක් පරිත්‍යාග කරන ලදී. මෙම වැඩසටහනේදී, 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ සිසු සිසුවියන් 34 දෙනෙකු වෙනුවෙන් රුපියල් 15,000.00 ක මූල්‍යමය පරිත්‍යාගයක් සමඟින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නව ඉතුරුම් ගිණුම් විවෘත කරන ලදී. 2023 වර්ෂයේදී අ.පො.ස. (සා/පෙළ) විභාගයෙන් සියලුම විෂයන් සඳහා ‘A’ සාමාර්ථ ලබාගත් සිසු සිසුවියන් 134 දෙනෙකු වෙනුවෙන් රුපියල් 25,000.00 ක මූල්‍ය පරිත්‍යාගයන් සහ අ.පො.ස. (උ/පෙළ) විභාගයෙන් සියළුම විෂයන් සඳහා ‘A’ සාමාර්ථ ලබාගත් සිසු සිසුවියන් 64 දෙනෙකු වෙත රුපියල් 100,000.00 ක මූල්‍ය පරිත්‍යාගයක් ද සිදුකෙරිණි.
මීට අමතරව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙතින් සෑම ශිෂ්‍යත්වලාභියෙකු වෙනුවෙන්ම අභ්‍යාස පොත් කට්ටල සහ පාසල් බෑග් පරිත්‍යාග කරනු ලැබීය. මෙම උත්සවය අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ විධායක නිලධාරින් වෙත සමරු තිළිණ ද ප්‍රදානය කරන ලදී.
ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවයෙන් අනතුරුව, පැවති සුහද තේ පැන් සංග්‍රහය අතරතුරදී සියළුම දුවා දරුවන්ට යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය සමඟ සුහද පිළිසඳරක නිරතවීමට ද අවස්ථාව හිමිවිය. සුහද තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව, ශිෂ්‍යත්වලාභී දුවා දරුවන් යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනීසිටියහ.
අනතුරුව, ශිෂ්‍යත්වලාභී සිසු සිසුවියන් පිරිසක් විසින් ස්තූති කතාවන් පවත්වන ලදී. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එම දරු දැරියන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ.