02nd February 2025 20:56:54 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික මහසභා රැස්වීම යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි අංක 07 ගොඩනැගිල්ලේ පළමු මහලේ බහුකාර්ය ශාලාවේදී රෙජිමේන්තු සේවා වනිතා සභාපතිනියන්, විධායක මණ්ඩල සාමාජිකාවන් සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් 2025 ජනවාරි මස 31 දින සන්ධ්‍යාවේදී පැවැත්විය.
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මාසික මහසභා රැස්වීම සේවා වනිතා ඒකකයේ ගීතය ගායනා කිරීමෙන් අනතුරුව ආරම්භ වූ අතර, ඉන් පසුව, මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලදී.
පසුව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවන් විසින් ක්‍රියාත්මක කරනු ලබන සුභසාධන ව්‍යාපෘති ඇතුළත් වාර්තාමය වීඩියෝවක් ප්‍රදර්ශනය කරන ලද අතර, න්‍යාය පත්‍රයට අනුව, ඉන්පසු යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් ආමන්ත්‍රණය කළාය.
අනතුරුව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ විධායක මණ්ඩලයේ පුරප්පාඩු වූ තනතුරු සඳහා එහි සාමාජිකාවන් විසින් පහත සඳහන් කමිටු සාමාජිකාවන් පත් කරගන්නා ලදී:
ලේකම් - ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මිය
උප ලේකම් - සුරංගි අමරපාල මහත්මිය
මහජන සම්බන්ධතා නිලධාරි - අනෝජා පීරිස් මහත්මිය
උප මහජන සම්බන්ධතා නිලධාරි - දර්ශනී යහම්පත් මහත්මිය
සියළුම ව්‍යාපෘති අධීක්‍ෂන නිලධාරි - දුලාෂි මීපාගල මහත්මිය
රැස්ව සිටි පිරිස අමතමින්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහනේ ප්‍රතිපත්තීන්ට අනුකූලව ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳව පැහැදිලි කළාය. තවද, අනවශ්‍ය වියදම් අඩු කර ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සුභසාධන කටයුතු සඳහා ආයෝජනය කරන ලෙස රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවන් හි සභාපතිනියන් හට උපදෙස් ලබා දුන්නාය.
ඉන්පසුව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ලේකම් ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මිය විසින් පසුගිය සභාවාරයේ වාර්තාව ඉදිරිපත් කරන ලද අතර, මේජර් පී.ජී.පී.සී. කුමාරි විසින් විගණන වාර්තාව ඉදිරිපත් කරන ලදී. අනතුරුව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය විසින් රණවිරු සුභසාධනය උදෙසා පැවැත්විය යුතු නව සුභසාධන වැඩ සටහන් හා වාර්ෂිකව සිදුකර ගෙන යනු ලබන සුභසාධන ව්‍යාපෘතීන් කාර්යක්‍ෂමව පවත්වාගෙන යාම සඳහා අවැසි උපදෙස් ලබාදෙන ලදී.
අනතුරුව, සභාපතිතුමිය විසින් රණවිරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සුභසාධනය සඳහා පරිත්‍යාග කිහිපයක් සිදුකරන ලදී. ඒ අනුව 9 බලඇණිය ශ්‍රී ලංකා සංඥා බලකායේ රාජකාරි නියුතු කෝප්‍රල් ආර්.ජී.ජේ රාජපක්‍ෂගේ රෝගි තත්ත්වයෙන් පෙළෙන දරුවා හට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රුපියල් 100,000.00 වෛද්‍යාධාරයක් සහ 2 (ස්වේච්ජා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ රාජකාරි නියුතු ලාන්ස් කෝප්‍රල් ඒ.එස්.එන්. ද සිල්වාගේ නව නිවස ඉදිකර ගැනීම සඳහා මෙම ඒකකය වෙතින් ලබාදීමට නියමිත වූ රුපියල් 600,000.00 ක මුදලේ දෙවන අදියර වශයෙන් රුපියල් 200,000.00 ක මුදලක් පිරිනමන ලදි.
මාසික මහසභා රැස්වීම අවසානයේදී, රණවිරුවන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් රෙජිමේන්තු 24 ක් විසින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙත රෝද පුටු 24 ක් පරිත්‍යාග කරන ලද අතර, එම රෝද පුටු රණවිරු සේවා සහ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.එස්.ආර් විජේදාස ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.
මාසික රැස්වීම අවසන් වීමට පෙර, සහභාගිවූ සියලු සාමාජිකාවන් සමඟින් සභාපතිනිය සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිටියහ.