31st January 2025 15:26:58 Hours
දොඹගොඩ පිහිටි යුධෝපකරණ පුහුණු පාසලේ සම්මන්ත්‍රණ ශාලාවේදී භඨකාර්ය සම්පාදන ආඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඊ.එම්.එම්. ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ ගේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහසභා රැස්වීම 2025 ජනවාරි මස 25 දින පැවැත්විණි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉරේෂා ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වාර්ෂික මහසභා රැස්වීම සඳහා විධායක කමිටු සාමාජිකාවන් සහ සෙසුනිලයන්ගේ භාර්යාවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මෙම අවස්ථාව සඳහා සපැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි එම ශාඛාවේ ලේකම් සහ සාමාජිකාවන් විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව සේවා වනිතා ගීතය ගායනා කෙරිණි. අනතුරුව, දිවංගත රණවිරුවන් අනුස්මරණය කරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් ද පවත්වනු ලැබීය.
මෙම රැස්වීම අතරතුරදී, සෙසුනිලයෙකුගේ පවුලේ සාමාජිකයෙකුගේ වෛද්‍ය වියදම් සඳහා රු. 50,000.00 ක මූල්‍ය පරිත්‍යාගයක් එම සෙසුනිලයා වෙත ලබාදුන් අතර, වාර්ෂික මහසභා රැස්වීමේ සමාප්තිය සනිටුහන් කරමින් ලුතිනන් කර්නල් ඊ.ඒ.ඒ.එස් චමින්ද විසින් අර්ථවත් දේශනයක් පවත්වන ලදී.