Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

20th January 2025 10:52:02 Hours

මැනිං ටවුන් විරුකැකුළු පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය සාර්ථකව අවසන්

මැනිං ටවුන් ප්‍රදේශයේ ස්ථාපිත විරු කැකුළු පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2025 ජනවාරි මස 18 දින කොළඹ යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය සහභාගි වූ අතර උත්සව පරිශ්‍රය වෙත සපැමිණි එතුමිය වෙත පෙරපාසල් ළමුන් විසින් බුලත් හුරුල්ලක් පිළිගන්වමින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා සහ අනෙකුත් සම්භාවනීය ආරාධිතයින් විසින් සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව කුඩා ළමුන්ගේ දක්‍ෂතා එළිදැක්වූහ.

ඒ අනුව, පෙර පාසල් ළමුන් පිරිසක් විසින් වර්ණවත් පිළිගැනීමේ නර්තනයක් ඉදිරිපත් කිරීමෙන් පසුව තවත් වර්ණවත් නර්තනාංගයන්, ගීත සහ සංදර්ශනයන් ඉදිරිපත් කරනු ලැබූ අතර, එමඟින් ඔවුන් සතු නිර්මාණාත්මක කුසලතා ප්‍රදර්ශනය කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සහ මැනිං ටවුන් විරුකැකුළු පෙර පාසල භාර ජ්‍යෙෂ්ඨ සේවා වනිතා සාමාජිකා සුරංගි අමරපාල මහත්මිය, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, ගුරු භවතුන්, කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ පෙර පාසල් දරු දැරියන්ගේ දෙමාපියන් පිරිසක් සහභාගි වූහ.