Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

11th November 2024 09:48:49 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවකුගේ පවුලක් සඳහා නව නිවසක් ලබාදෙයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ අධීක්‍ෂණය යටතේ මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවෙකුගේ සේවයට හෘදයාංගම උපහාරයක් පුදකරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් ජාත්‍යන්තර සිංහ සමාජය සමඟ එක්ව දොම්පේ, ඉන්දගොල්ල ග්‍රාම නිලධාරී වසමේ රණවිරු පවුලක් සඳහා අලුතින් ඉදිකරන ලද නිවස 2024 නොවැම්බර් මස 08 දින පවරා දෙන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ප්‍රධාන ආරාධිතයන් ලෙස ජාත්‍යන්තර සිංහ සමාජයේ සාමාජිකයින් සමඟින් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, එහිදී මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවාගේ කලත්‍රයා සහ ඔහුගේ පාසල් වියේ පසුවන දරුවා විසින් බුලත් හුරුල්ලක් පිරිනමමින් ප්‍රධාන ආරාධිතයින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ඉන් අනතුරුව, මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ජාත්‍යන්තර සිංහ සමාජයේ සාමාජිකයින් සමඟින් නව නිවසේ යතුර උත්සවාකාරයෙන් මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවාගේ කලත්‍රයා වන චංචලා චාන්දනී හපුතන්ත්‍රී මහත්මියට සහ ඔහුගේ පුත්‍රයා වෙත ප්‍රදානය කරන ලදී.

සාම්ප්‍රදායික ලෙස කිරි ඉතිරිවීම සහ චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන දැල්වීමන් අනතුරුව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී විසින් නව නිවස සඳහා අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ පරිත්‍යාග කරන ලදී.

එසේම මෙම ව්‍යාපෘතිය සඳහා ඉඩම් පරිත්‍යාගශීලී දායකත්වය අගයමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සිංහ ගාමිණී මහතා සහ ශ්‍රී ලංකා සිංහ සමාජයේ සභාපතිවරයා වෙත සමරු ඵලකයක් ප්‍රදානය කළේය. අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී විසින් දියවන්නා සිංහ සමාජය වෙත සමරු ඵලකයක් ප්‍රදානය කරන ලදී.

මීට අමතරව, මෙම ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනීය විසින් සිදුකල කැපවීම අගය කිරීම වෙනුවෙන් සිංහ සමාජ ජාත්‍යන්තර දිස්ත්‍රික් 306 C1 නියෝජනය කරමින් සමන් ජිනදාස මහතා විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනීය වෙත සමරු ඵලක පිරිනමන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරී බ්‍රිගේඩියර් එන්.මහවිතාන කේඑස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ දියවන්නා සිංහ සමාජයේ සාමාජිකයින් සහ පවුලේ සාමාජිකයින් සහභාගී වූහ.