Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

29th October 2024 14:51:30 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික මහසභා රැස්වීම පැවැත්වේ

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික මහසභා රැස්වීම යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2024 ඔක්තොම්බර් මස 28 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්වුණු අතර එම අවස්ථාව සඳහා රෙජිමේන්තු සේවා වනිතා සභාපතිනියන්, විධායක මණ්ඩල සාමාජිකාවන් සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහභාගී වූහ. උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගීතය ගායනා කර දිවංගත වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීය. ඉන් අනතුරුව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ කාර්යභාරය විදහා දැක්වෙන කෙටි වීඩියෝපඨයක් ප්‍රදර්ශනය කරන ලදී.

ඉන් අනතුරුව, රැස්වීම ආමන්ත්‍රණය කළ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි එම ඒකකය වෙතින් ක්‍රියාත්මක කිරීමට නියමිත ඉදිරි ව්‍යාපෘති පිළිබඳ දැනුවත් කරිමෙන් පසු දැනට ක්‍රියාත්මක සුභසාධන ව්‍යාපෘතීයන්හි වැදගත්කම පිළිබඳ අවධාරණය කළාය. පසුව, එම ඒකකයේ ලේකම් නන්දනී සමරකෝන් මහත්මිය විසින් පෙර රැස්වීම් වාර්ථාව ඉදිරිපත් කළ අතර භාණ්ඩාගාරික මේජර් පී.ජි.පී.සී. කුමාරි විසින් විගණන වාර්තාව ඉදිරිපත් කිරීම සිදුකරන ලදී.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන තවත් සුබසාධන වැඩසටහනක් වශයෙන් ජානකී ලියනගේ මහත්මියගේ සුරතින් නව නිවාස ඉදිකිරීම සඳහා ගැමුණු හේවා බලකා සාමාජිකයන් තිදෙනෙකු වෙත රු. 600,000.00 බැගින් සහ සිවිල් සේවක මහතෙකු වෙනුවෙන් රු. 350,000.00 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය. මීට අමතරව, අර්ධ වශයෙන් ඉදිකරනු ලැබූ නිවාසවල ඉදිකිරීම් කටයුතු නිමකිරීම සඳහා සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් සිව්දෙනෙකු වෙත රු. 450,000.00 බැගින් සහ සිවිල් සේවක මහතෙකු වෙත රු. 300,000.00 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය. තවඳ, 3 බලඇණිය ගැමුණු හේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ආර්.ඒ.එස්.පී. රණසිංහ ගේ භාර්යාවගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා සහ සැරයන් කේ.ඒ.ඩි.එස්.ඩී. මුණසිංහ ගේ බිරිඳගේ තෙවන දරු උපත සඳහා රු. 100,000.00 බැගින් වූ මූල්‍ය ආධාර පිරිනැමීම ද එදින සිදුවිය.

එමෙන්ම, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් 30 දෙනෙකු වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් සහ යුද්ධ හමුදා සාමාජිකයන් 30 දෙනෙකුගේ දරුවන් වෙත පාසල් උපකරණ පරිත්‍යාගයක් ද සිදුකරනු ලැබීය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ජාතික ගීය ගායනා කිරීම සිදුවිය. අනතුරුව මෙම අවස්ථාව සඳහා සහභාගි වූ සියළු අයවළුන් සුහඳ තේ පැන් සංග්‍රහයකට එක් වෙමින් ජානකී ලියනගේ මහත්මිය සමඟින් සුහඳ පිළිසඳරක ද නිරතවිය.