Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

13th October 2024 11:26:33 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ‘අභිමන්සල - 3’ සුවතා නිකේතනයේ සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය 2024 ඔක්තෝම්බර් මස 11 දින පාන්ගොල්ල ප්‍රදේශයේ ස්ථාපිත ‘අභිමන්සල - 3’ සුවතා නිකේතනයේ සංචාරයක නිරත වූවාය.

සංචාරයේ නිරත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්‍ෂිතයට පත් රණවිරුවෙකු විසින් බුලත් හුරුල්ලක් පිළිගන්වමින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම සංචාරය අතරතුරදී, ජානකී ලියනගේ මහත්මිය විසින් එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ ජල චිකිත්සක සායනයන් සිදුකරන පිහිනුම් තටාකය පිරිසිදු කිරීමට භාවිතා කරනු ලබන ද්‍රව්‍ය සමඟින් විශේෂ ත්‍යාග පාර්සල් ද පරිත්‍යාග කරනු ලැබීය. එම සුවතා නිකේතනයේ සංචාරය සනිටුහන් කරමින් අභිමන්සල - 3’ සුවතා නිකේතනයේ සේනාවිධායකතුමන් විසින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි වෙත ඇගයීම් සංකේතයක් පිරිනමනු ලැබීය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි එම සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන් සමඟ සුහඳ පිළිසඳරක නිරත වෙමින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධන කටයුතු පිළිබඳව සොයාබැලීය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබූ සමූහ ඡායාරූපයකට ද එතුමිය සහභාගී වූවාය.

පසුව, එතුමිය එම සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන් විසින් සිදුකළ අත්කම් නිර්මාණ නිරීක්‍ෂණය කරමින් ඔවුන්ගේ නිර්මාණාත්මක කුසලතාවයන් ඇගයීමට ලක්කළාය.

අනතුරුව, ජානකී ලියනගේ මහත්මිය එම සුවතා නිකේතන පරිශ්‍රයේ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් කළමනාකරණය කරනු ලබන කඩදාසි ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියේ ද නිරීක්‍ෂණ සංචාරයක නිරතවිය.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.