Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

01st October 2024 14:50:55 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික මහසභා රැස්වීම පැවැත්වේ

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික මහසභා රැස්වීම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවන්හි සභාපතිනියන්, විධායක මණ්ඩල සාමාජිකාවන් සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් 2024 සැප්තැම්බර් මස 30 දින යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වීම ආරම්භ වූ අතර ප්‍රථමයෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගීතය ගායනා කිරීමෙන් අනතුරුව මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්විණි. ඉන් අනතුරුව, එම ඒකකය වෙතින් සිදුකරනු ලැබූ සේවාවන් අළලා සැකසුනු කෙටි වීඩියෝපටයක් ප්‍රදර්ශනය කෙරිණි.

අනතුරුව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨතාවය මත විධායක කමිටු සාමාජිකාවන් පහත පරිදි තෝරා පත්කරනු ලැබීය:

උප සභාපතිනි - නිලූකා නානායක්කාර මහත්මිය

සහකාර ලේකම් - ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය

මහජන සම්බන්ධතා නිලධාරිනි - ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මිය

සහකාර මහජන සම්බන්ධතා නිලධාරිනි - සුරංගි අමරපාල මහත්මිය

සියලුම ව්‍යාපෘති අධීක්‍ෂණ භාර නිලධාරිනි - වරුණි කුලතුංග මහත්මිය

මෙම අවස්ථාවේදී, රැස්වීම ආමන්ත්‍රණය කළ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි එම ඒකකය වෙතින් ක්‍රියාත්මක කිරීමට නියමිත ඉදිරි ව්‍යාපෘති පිළිබඳ විස්තර කළාය. අනතුරුව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ලේකම් නන්දනී සමරකෝන් මහත්මිය විසින් පෙර රැස්වීමේ වාර්තාව ඉදිරිපත් කළ අතර භාණ්ඩාගාරික මේජර් පී.ජී.පී.සී. කුමාරි විසින් විගණන වාර්තාව ඉදිරිපත් කරන ලදී.

යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ජීවිත නඟාසිටුවීමේ අරමුණින් තවදුරටත් සුභසාධන කටයුතු සහ වාර්ෂික ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව ද ජානකී ලියනගේ මහත්මිය මෙහිදී අවධාරණය කළාය. මෙම රැස්වීමට සමගාමීව, සිවිල් සේවක මහත්ම මහත්මීන් 30 දෙනෙකු වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙනු ලැබීය. තවත් යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් 30 දෙනෙකුගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාගයක් ද මෙහිදී සිදුකෙරිණි.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් පාලනය වන මැනිං ටවුන් සේවා වනිතා සහන වෙළඳසැල තුළ අලෙවි වන යුනිලිවර් ආයතනයේ නිෂ්පාදිත රෙදි සෝදන කුඩු මාස තුනක කාලයක් තුළ මිලදී ගත් අයවළුන් සඳහා දිනුම් ඇදීමක් පැවැත්වූ අතර, ඉන් ජයග්‍රහණය කළ බළලත් නිලධාරී II ආර්.එච්.එස්.එම්. තිලකරත්න වෙත යුනිලීවර් සමාගම වෙතින් ලබාදෙනු ලැබූ ශීතකරණය මෙම උත්සව අවස්ථාවේදී එම බළලත් නිලධාරි වෙත පිරිනැමීම සිදුවිය.

මාසික රැස්වීම සමාප්තියේ, සියලුම සහභාගීවූවන් තේ පැන් සංග්‍රහයකට සහභාගී වෙමින් සුහඳ පිළිසඳරක ද නිරතවූහ.