Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

29th September 2024 15:12:49 Hours

ශ්‍රී ලංකා සංඥා බලකායේ සිවිල් සේවක මහතෙකු සඳහා නව නිවසක්

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සුභසාධන ව්‍යාපෘතිවල තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා සංඥා බලකායේ රාජකාරියෙහි නියුතු සිවිල් සේවක මහතෙකු වන නන්දන අමරසිංහ මහතාට 2024 සැප්තැම්බර් මස 26 දින නවතමයෙන් ඉදිකරනු ලැබූ නිවස භාරදෙනු ලැබීය.

ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපතිතුමන්ගේ උපදෙස් මත ආරම්භ කරන ලද මෙම නිවාස ව්‍යාපෘතිය මගින් එම බලකායේ දශක තුනකට ආසන්න කාලයක් සේවය කර ඇති අමරසිංහ මහතාගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම නිවස ලබාදී ඇත. නව නිවස ලැබීමට ප්‍රථම අමරසිංහ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ජීවත් වූයේ ලී බිත්ති සහිත අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවසකය. මෙම යුවළට දරුවන් දෙදෙනෙකු සිටින අතර, එක් දරුවෙක් පාසල් අධ්‍යාපනය ලබන අතර, අනෙක් දරුවාට අවුරුදු එකහමාරක් වෙයි.

නවතමයෙන් ඉදිකරන ලද නිවසෙහි විසිත්ත කාමරයක්, ආලින්දයක්, නිදන කාමර දෙකක්, නාන කාමරයක් සහ මුළුතැන්ගෙයකින් සමන්විත වේ. සංඥා බලකායේ සේවයේ නියුතු හා විශ්‍රාමික සාමාජිකයින්ගේ සහ අනෙකුත් පරිත්‍යාගශීලීන්ගේ දායකත්වය මත එම බලකායේ භටපිරිස්හි ශ්‍රම දායකත්වයෙන් මාස හයක් ඇතුළත නිවසේ ඉදිකිරීම් කටයුතු අවසන් කරනු ලැබීය.

උත්සව අවස්ථාවේදී, සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් ගෘහ භාණ්ඩ සහ ගෘහ උපකරණ ද පරිත්‍යාග කරන ලදී.

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිතුමිය ඇතුළු අනෙකුත් සාමාජිකාවන්ගේ ප්‍රධානත්වයෙන් නව නිවස ප්‍රථිලාභී පවුල වෙත ලබා දෙන ලදී.

සාම්ප්‍රදායික පොල් තෙල් පහන දල්වා ආගමික කටයුතු සිදුකර මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ සුබ මොහොතින් නිවාස ලාභීන් වෙත නව නිවස ලබාදෙනු ලැබීය.