Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

23rd August 2024 17:40:57 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 40 වැනි වාර්ෂික මහා සභා රැස්වීම පවත්වයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 40 වන වාර්ෂික මහා සභා රැස්වීම රෙජිමේන්තු සේවා වනිතා සභාපතිනියන්, විධායක මණ්ඩල සාමාජිකාවන් සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් 2024 අගෝස්තු මස 21 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම ආරම්භ වූ අතර යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගීතය ගායනා කිරීමෙන් අනතුරුව, මව්බිම වෙනුවෙන් දිවි පිදූ රණ විරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිෂ්ශබ්දතාවයක් පවත්වනු ලැබීය. පසුව සේවාවනිතා ඒකකය වෙතින් ඉටු කරන ලද සේවාවන් ඇතුළත් වාර්තා චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන ලදී.

අනතුරුව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී විසින් සැලසුම් කර ඇති ඉදිරි ව්‍යාපෘති පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කළේය. සේවා වනිතා ඒකකයේ ලේකම් නන්දනී සමරකෝන් මහත්මිය විසින් පසුගිය සභා වාර්තා ඉදිරිපත් කළ අතර, භාණ්ඩාගාරික මේජර් පී.ජි.පී.සී කුමාරි විසින් විගණන වාර්තාව ඉදිරිපත් කරන ලදී. පසුව ලුතිනන් එන්.ඩබ්ලිව්.ඩබ්ලිව්.වී.එස් කාවින්ද්‍යා විසින් සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ මඟපෙන්වීම යටතේ සිදු කරන ලද සුභසාධන කටයුතු පිළිබඳ විස්තර සහිතව ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කරන ලදී.

අනතුරුව 12 ගැමුණු හේවා බලකායේ විශ්‍රාමික නිලධාරියෙකුගේ ආබාධිත දරුවෙකු සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සෙබළෙකුගේ මවකට රෝද පුටුවක‍් පරිත්‍යාග කිරීම සභාපතිනිය සුරතින් සිදු විය. මීට අමතරව, ශ්‍රී ලංකා සංඥා බලකායේ ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරියෙකුගේ භාර්යාවකට ස්වයං රැකියාවකට සහාය වීම සඳහා ජුකී මැෂිමක් ද පරිත්‍යාග කෙරිණි.

තවද, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් කළමනාකරණය කරනු ලබන යෝගට් ව්‍යාපෘතියෙන් රු. 200,000.00, මුදලක් එම සේවාවනිතා ශාඛාවේ සභාපතිනී චන්දි රාජපක්‍ෂ මහත්මිය විසින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙත පරිත්‍යාග කළාය.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය සහ සාමාජිකාවන් අතර සුහඳ පිළිසඳරකින් සහ සංග්‍රහයකින් අනතුරුව එදිනට නියමිත රැස්වීමේ වැඩකටයුතු අවසන් විය.