Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

25th July 2024 20:49:07 Hours

පනාගොඩ ‘විරු කැකුළු’ පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල පැවැත්වේ

පනාගොඩ ‘විරු කැකුළු’ පෙර පාසලේ ඉගෙනුම ලබන දරුවන් 2024 ජූලි මස 24 දින ශ්‍රී ලංකා සංඥා බලකා ක්‍රීඩාංගණයේදී ‘Community Helpers’ තේමාව ඔස්සේ පැවැති වාර්ෂික ක්‍රීඩා හමුවේදී සිය ක්‍රීඩා සහ කලා කුසලතාවයන් ප්‍රදර්ශනය කළහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සමඟින් එම සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් කිහිපදෙනෙකුද සහභාගී වූහ. ක්‍රීඩා උත්සවය සඳහා සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තිය වෙත එම පෙරපාසලේ දරු දැරියන් විසින් බුලත් හුරුල්ලක් පිළිගන්වමින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

එහිදී, පැවති විවිධ ක්‍රීඩා සහ විනෝදාත්මක අංගයන් සඳහා එම පෙර පාසලේ සියලුම දරු දැරියන් සහභාගී වූහ.

මෙම ක්‍රීඩා උළෙල අතරතුරදී, කුඩා දරු දැරියන්ගේ දෙමාපියන් වෙනුවෙන් සංවිධානය කළ විශේෂ තරඟ ඉසව් පැවැත්විණි. උත්සවය තවත් වර්ණවත් කරමින් සරඹ සංදර්ශනයක් සහ තූර්ය වාදක සංදර්ශනයක්ද පැවැත්විණි. ඉන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තියගේ සුරතින් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වූ සියලු දරු දැරියන් වෙනුවෙන් ත්‍යාග ප්‍රදානය කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකා සමංකා ප්‍රනාන්දු මහත්මිය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, පෙරපාසල් ගුරු භවතුන්, දෙමාපියන් සහ දරු දැරියන් පිරිසක් සහභාගී වූහ.