Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

21st July 2024 19:25:10 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික මහසභා රැස්වීම සාර්ථකව පවත්වයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය ප්‍රමුඛ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවන්හි සභාපතිනියන්, විධායක මණ්ඩල සාමාජිකාවන් සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික මහසභා රැස්වීම 2024 ජූලි මස 19 දින යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

උප සභාපතිනිය - තුෂාරා යටිවාවල අලුවිහාරේ මහත්මිය
සහකාර ලේකම් - නෙලූකා නානායක්කාර මහත්මිය
මහජන සම්බන්ධතා නිලධාරිනි - ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය
සහකාර මහජන සම්බන්ධතා නිලධාරිනි - ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මිය
ව්‍යාපෘති භාර සම්බන්ධීකාරක - සමංකා ප්‍රනාන්දු මහත්මිය

ඉන් අනතුරුව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ විධායක ලේකම් ලුතිනන් එන්.ඩබ්ලිව්.ඩබ්ලිව්.වී.එස්. කාවින්ද්‍යා විසින් පසුගිය රැස්වීමේ වාර්ථාව ඉදිරිපත් කළ අතර භාණ්ඩාගාරික මේජර් පී.ජී.පී.සී. කුමාරි විසින් විගණන වාර්තාව ඉදිරිපත් කරන ලදි.

මෙම රැස්වීම අතරතුරදී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් ශ්‍රී ලංකා සංඥා බලකා සාමාජිකයන් 04 දෙනෙකු වෙත නව නිවාස ඉදිකිරීම සඳහා රු. 600,000.00 ක මූල්‍ය පරිත්‍යාගයන් සහ ඉදිකරමින් පවතින නිවාසයන්හී ඉදිකිරීම් කටයුතු නිමකරවා ගැනීම සඳහා තවත් සාමාජිකයන් 05 දෙනෙකු වෙත රු. 450,000.00 ක මූල්‍ය පරිත්‍යාගයන් ද පරිත්‍යාග කරනු ලැබීය.

එමෙන්ම, ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් එම රෙජිමේන්තුව යටතේ සේවයේ නියුතු සිවිල් සේවක මහතෙකු වෙනුවෙන් රු. 1,000,000.00/= ක මුල්‍ය පරිත්‍යාගයක් සහ අර්ධ වශයෙන් ඉදිකරනු ලැබූ නිවසක ඉදිකිරීම් කටයුතු නිමකිරීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයෙකු වෙත රු. 450,000.00/= ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකෙරිණී.

මීට අමතරව, එම සේවා වනිතා ශාඛාව වෙතින් රු. 75,000.00 ක වටිනාකමකින් යුත් වෛද්‍ය ආධාර දෙකක් පිරිනැමීය. යුද්ධ හමුදා සාමාජිකයෙකුගේ කථන හැකියාවට සහ ඇවිදීම සඳහා බලපාන ස්නායු ආබාධයකින් පෙළෙන පුතුගේ ප්‍රතිකාර කටයුතු සඳහාත්, ඔටිසම් රෝගයෙන් පෙළෙන තවත් සොල්දාදුවෙකුගේ දරුවෙකුට ප්‍රතිකාර ලබාගැනීම සඳහාත් මෙම වෛද්‍ය ආධාරයන් පිරිනැමීය.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමියගේ මූලිකත්වයෙන් මෙම අවස්ථාවේදී දරුවන් තිදෙනෙකුගෙන් සමන්විත පවුල් වෙනුවෙන් සහන ලබාදෙමින් ශ්‍රී ලංකා සංඥා බලකා සාමාජිකයන් තිදෙනෙකු වෙත රු. 100,000.00/= බැගින් වූ මූල්‍යාධාරයන් පිරිනැමිණි.

ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල් වෙනුවෙන් සහන සැලසීමේ අරමුණින් ශ්‍රී ලංකා සංඥා බලකා සාමාජිකයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් 30 දෙනෙකු වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමක්ද මෙහිදී සිදුකෙරිණි. එමෙන්ම, යුද්ධ හමුදා සාමාජිකයන් 20 දෙනෙකු සහ සිවිල් සේවක මහතුන්ගේ දරු දැරියන් වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාගයක්ද මීට සමගාමීව සිදුකරනු ලැබීය.

වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරමින් මෙම අවස්ථාව සඳහා සහභාගී වූවන් තේ පැන් සංග්‍රහයකට සහභාගී වීමෙන් අනතුරුව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය සමඟ සුහඳ අදහස් හුවමාරුවකද නිරතවූහ.