Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

13th July 2024 16:01:29 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 40 වන සංවත්සරය වෙනුවෙන් රණවිරුවන්ට උපහාර

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 40 වන සංවත්සරය නිමිත්තෙන් "වීර මාතා උපහාර උලෙළ" යන තේමාව යටතේ වැඩසටහනක් 2024 ජූලි මස 12 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත් විය. ජාතියේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් තම ජිවිත පරිත්‍යග කරමින් පරම වීර විභූෂණ (PWV) පදක්කමින් පිදුම් ලද රණවිරුවන්ගේ ලඟම ඤාතින් ඇගයීම සහ වීර වික්‍රම විභූෂණ (WWV) පදක්කමින් පිදුමි ලද රණවිරුන් ඇගයීම වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් ඩී.ජී.එච්. කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් සහ එම අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී චිත්‍රානි ගුණරත්න මහත්මිය සහභාගි විය. යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි ප්‍රධාන ආරාධිතයන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, යුද්ධ හමුදා සංස්කෘතික නර්තන කණ්ඩායම විසින් උත්සව ශාලාව වෙත කැඳවාගෙන යනු ලැබීය.

සම්ප්‍රදායක පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව, යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ ගීතය ගායනා කරමින් වැඩසටහනේ කටයුතු ආරම්භ විය. මව්බිම වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්‍ෂා කරමින් පදක්කම්ලාභීන්ගේ වීරත්වය සහ පරිත්‍යාගය ඉස්මතු කරමින් කෙටි වීඩියෝ පටයක් ඉදිරි පත් කරන ලදී.

අනතුරුව, සහෝදර සොල්දාදුවන්ගේ ජීවිත ආරක්‍ෂා කරමින් තම ජිවිත පරිත්‍යාග කර පරම වීර විභූෂණ (PWV) සම්මානයෙන් පිදුම් ලැබූ රණවිරුවන්ගේ ළඟම ඥාතීන් වෙත මූල්‍ය ආධාර සහ සමරු ඵලක පිරින ලදී එසේම ආරක්‍ෂක අමාත්‍යාංශය වෙතින් විශේෂ සම්මානයක් ද පිරිනැමිණි

යුද්ධ හමුදා නර්තන කණ්ඩායම සහ තූර්ය වාදක කණ්ඩායම විසින් මෙම අවස්ථාව වර්ණවත් කරමින් අංගයන් ඉදිරිපත් කරන ලදී. ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් අදහස් දක්වමින් රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ දායකත්වය අගය කළේය.

යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කිරිමේන් අනතුරුව,එම අවස්ථාවේ පැවති තේ පැන් සංග්‍රහයේ දී රණවිරුවන් ගේ පවුල්වල සාමාජිකයන් සමගින් සුහද අදහස් හුවමාරුවක නිරත විය. මෙම අවස්ථාවට සහභාගිවූවන් සමඟින් සමූහ ඡායාරූපයකට පෙනී සිට දිවා භෝජන සංග්‍රහයකින් අනතුරුව දවසේ වැඩකටයුතු අවසන් විය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, පරම වීර විභූෂණ (PWV) සහ වීර වික්‍රම විභූෂණ (WWV) පදක්කම්ලාභීන්ගේ සමීප ඥාතීන් සහභාගී වූහ .