Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

19th June 2024 19:43:43 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික මහසභා රැස්වීම සාර්ථකව පවත්වයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික මහසභා රැස්වීම රෙජිමේන්තු සේවා වනිතා සභාපතිනියන්, විධායක මණ්ඩල සාමාජිකාවන් සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී 2024 ජුනි මස 18 දින පැවැත්විණි.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින් යුද්ධ හමුදා සේවා වනිතා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීය. ඉන් අනතුරුව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා මූලික ව්‍යාපෘතීන් අළලා සැකසූ කෙටී වීඩියෝපටයක් ප්‍රදර්ශනය කෙරිණි.

වැඩසටහන අතරතුරදී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය රැස්වීම ආමන්ත්‍රණය කරමින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතීන් පිළිබඳ පැහැදිළි කළාය. පසුව, කපිතන් එම්.ඒ.ඩබ්ලිව්. නිමාෂා විසින් පෙර රැස්වීමේ වාර්තාව ඉදිරිපත් කළ අතර යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ විධායක ලේකම් සහ භාණ්ඩාගාරික මේජර් පී.ජී.පී.සී. කුමාරි විසින් විගණන වාර්තාව ඉදිරිපත් කරනු ලැබීය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් සිව්දෙනෙකුගේ නිවාසවල ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් ලක්‍ෂ 6 බැගින් මුල්‍ය ප්‍රදානයක් සිදුකරනු ලැබීය. එමෙන්ම, අර්ධ වශයෙන් ඉදිකරනු ලැබූ නිවාසයන්හී ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කරගැනීම සඳහා තවත් භටපිරිස් පස් දෙනෙකු වෙත රුපියල් 450,000/- ක් සහ සිවිල් සේවක මහතෙකු වෙත රුපියල් 200,000/- බැගින් මුල්‍ය ප්‍රදානයන් පිරිනැමීය.

මෙම රැස්වීම අතරතුරදී, යුද්ධ හමුදා සාමාජිකයෙකුගේ මන්දපෝෂණයෙන් පෙළෙන තම තුන් නිවුන් දරුවන් වෙත වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සහ තවත් සෙබළෙකුගේ දෘශ්‍යාබාධිත දියණියට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා රුපියල් 75,000/- බැගින් වූ මූල්‍ය ප්‍රදානයන් සිදුකරන ලදී.

තවද, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමියගේ මූලිකත්වයෙන් දරුවන් තිදෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සාමාජිකයන්ගේ පවුල් සඳහා දිරිදීමනා වශයෙන් එම රෙජිමේන්තු සාමාජිකයන් තිදෙනෙකු වෙත රුපියල් 100,000/= බැගින් මූල්‍ය ප්‍රදානයන් සිදුකරනු ලැබීය.

මීට සමගාමීව, පවතින ආර්ථික දුෂ්කරතාවයන් සඳහා සහන සැලසීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සාමාජිකයන් සහ සිවිල් සේවක මහතුන් 20 දෙනෙකු වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් ද සිදුකෙරිණි. එමෙන්ම, තවත් සෙබළුන් 10 දෙනෙකුගේ සහ සිවිල් සේවක මහතුන්ගේ දරු දැරියන් වෙත අවශ්‍ය පාසල් උපකරණ බෙදාදීමක් ද මෙහිදී සිදුකෙරිණි.

මාසික මහසභා රැස්වීමේ සමාප්තිය සනිටුහන් කරමින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය මෙම අවස්ථාව සඳහා සහභාගී වූවන් සමඟ සුහඳ අදහස් හුවමාරුවක නිරතවිය.