Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

09th June 2024 13:55:06 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක්

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ සංකල්පයකට සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ අධීක්‍ෂණය මත අත්තිඩිය, මිහිඳු සෙත්මැදුර පරිශ්‍රයේදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ වියළි ආහාර සලාක පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 ජුනි මස 07 දින ක්‍රියාත්මක කරනු ලැබීය. අභිමංසල I, II, III සහ මිහිඳු සෙත්මැදුර සුවතා නිකේතනයන්හී ප්‍රතිකාර කටයුතු වල නිරත රණක්‍ෂිතයට පත් වීරෝදාර රණවිරුවන් 125 දෙනෙක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සතු ආර්ථික දුෂ්කරතා ලිහිල් කිරීමේ අරමුණින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

මිහිඳු සෙත්මැඳුර සුවතා නිකේතන පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවෙකු විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, එතුමිය එම සුවතා නිකේතනයේ වාට්ටු වෙත ගොස් නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් සමඟ සුහද අඳහස් හුවමාරුවක නිරත වෙමින් ප්‍රතිකාර කටයුතු පිළිබඳ විමසීමෙන් අනුතුරුව එම රණවිරුවන්ගේ සුවතා කටයුතු සහ ඔවුන්ගේ මානසික යහපැවැත්ම වැඩිදියුණු කිරීම පිළිබඳව සේනාවිධායකතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය වෙත අවශ්‍ය උපදෙස් ද ලබාදුන්නාය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනීගේ සුරතින් එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් 25 දෙනෙකු සහ එම අවස්ථාවට එක්වූ අභිමංසල I, II, III සුවතා නිකේතන කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ නියෝජිතයින් 25 දෙනෙකු වෙත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙනු ලැබීය.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය විසින් ජල විකිත්සක ප්‍රතිකාර සඳහා යොදාගන්නා රණවිරු පිහිනුම් තටාකය නඩත්තු කිරීමට භාවිතා කරනු ලබන පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යවශය ද්‍රව්‍ය තොගයක් ද මෙම අවස්ථාවේදී එම සුවතා නිකේතනය වෙත පරිත්‍යාග කරනු ලැබීය.

අනතුරුව, මිහිඳු සෙත් මැඳුර සුවතා නිකේතනයේ සේනාවිධායකතුමන් සහ එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවෙකු විසින් ජානකී ලියනගේ මහත්මිය වෙත විශේෂ සමරු තිළිණයක් පිරිනමනු ලැබීය. සුවතා නිකේතන පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම එතුමිය මෙම අවස්ථාව සනිටුහන් කරමින් නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන් සමඟින් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියාය.

මෙම අවස්ථාව සඳහා රණවිරු සේවා සහ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එස්.සී. ඒකනායක ආර්එස්පී, මිහිඳු සෙත්මැදුර සුවතා නිකේතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ටී.එස්. බාලසූරිය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරි බ්‍රිගේඩියර් එන්. මහවිතාන කේඑස්පී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කාන්තා නිලධාරිනියන් සහභාගි වූහ.