Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

22nd May 2024 12:43:37 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික සභා රැස්වීම සාර්ථකව පවත්වයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික සභා රැස්වීම රෙජිමේන්තු සේවා වනිතා ඒකකයන්හි සභාපතිනියන්, විධායක මණ්ඩල සාමාජිකාවන් සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ දී මැයි මස 20 වන දින පැවැත්විණි.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාසික සභා රැස්වීම ආරම්භ වූ අතර, ප්‍රථමයෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගීතය ගායනා කිරීමෙන් අනතුරුව රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලැබීය. අනතුරුව එම ඒකකය විසින් සිදු කරන ලද සේවාව ඇතුළත් වීඩීයෝ පටයක් ඉදිරිපත් කරනු ලැබිණි.

මාසික සභා රැස්වීම ආරම්භ කරමින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය ආරම්භක කථාව සිදුකරමින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතීන් පිළිබඳ විස්තර කළේය. පසුව, එම ඒකකයේ විධායක ලේකම් කපිතන් එම්.ඒ.ඩබ්ලිව්. නිමාෂා විසින් පසුගිය රැස්වීමේ වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුව භාණ්ඩාගාරික මේජර් පී.ජී.පී.සී කුමාරි විසින් ආදායම් හා වියදම් වාර්ථාව සභාව වෙත ඉදිරිපත් කරන ලදී.

අනතුරුව, ජානකී ලියනගේ මහත්මිය විසින් සන්නද්ධ බුද්ධි බලකායේ සේවයේ නියුතු සෙබළුන් සිව් දෙනෙකුගේ නිවාස ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 6 බැගින් වූ මුල්‍ය ප්‍රදානයක් සිදු කරන ලද අතර, අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාස සම්පූර්ණ කිරීම සඳහා සෙබළුන් හය දෙනෙකුට රු. 450,000.00 බැගින් වූ මුල්‍ය ප්‍රදානයක් සිදුකරන ලදී.

8 සන්නද්ධ බුද්ධි බලකායේ සේවයේ නියුතු සාමාජිකයෙකුගේ හෘද රෝගී තත්ත්වයෙන් පෙළෙන පුත්‍රයාට සහ 6 (ස්වෙච්ඡා) සන්නද්ධ බුද්ධි බලකායේ සේවයේ නියුතු සාමාජිකයෙකුගේ ආබාධ තත්ත්වයකින් යුතු දියණියට ප්‍රතිකාර කිරීම සඳහා රු.75,000.00 බැගින් වූ වෛද්‍ය ආධාර දෙකක් ද මෙහිදී ප්‍රධානය කරනු ලැබීය.

අනතුරුව, ජානකී ලියනගේ මහත්මියගේ උපදෙස් මත දරුවන් තිදෙනෙකු සිටින සන්නද්ධ බුද්ධි බලකායේ සාමාජිකයින් තිදෙනෙකු වෙත රු. 100,000.00 බැගින් වූ මූල්‍ය පරිත්‍යාගයන් ප්‍රධානය කරන ලදී.

මාසික සභා රැස්වීම අතරතුරදී සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාව විසින් එම බලකායේ සාමාජිකයෙකු වෙත ඔහුගේ අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවස සම්පූර්ණ කිරීම සඳහා රුපියල් 450,000.00 ක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී.

රට තුල පවතින ආර්ථික දුෂ්කරතාවයන් සඳහා යම්කිසි සහනයක් ලබාදීමේ අරමුණින් සන්නද්ධ බුද්ධි බලකායේ සාමාජිකයින් සහ සිවිල් සේවක මහතුන් 20 දෙනෙකු වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු වියළි ආහාර සලාක ඇසුරුම් බෙදා දුන් අතර, තවත් සාමාජිකයින් සහ සිවිල් සේවක මහතුන් 10 දෙනෙකුගේ පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන ළමුන් වෙනුවෙන් පාසල් උපකරණ ද ලබා දෙන ලදී.

මාසික රැස්වීම අවසානයේදී යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ඇතුළු සියලුම සාමාජිකාවන් තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී වෙමින් සුහඳව අදහස් හුවමාරු කර ගත්හ.