Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

04th May 2024 07:23:22 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මඟින් අභිමන්සල සුවතා නිකේතනයන්හී නේවාසික රණවිරුවන් සඳහා වියළි ආහාර සලාක පාර්සල් 100 ක් පරිත්‍යාග කරයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මඟින් කඹුරුපිටිය, අභිමංසල II සුවතා නිකේතන පරිශ්‍රයේදී ‘අභිමංසල I, II, III සහ මිහිඳු සෙත්මැඳුර සුවතා නිකේතනයන්හි නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන් සහ ඔවුන්ට උපස්ථාන කරනු ලබන සහායකයින් වෙත වියළි ආහාර සලාක පාර්සල් 100 ක් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් මැයි මස 02 දින පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහභාගී විය.

එතුමිය විසින් ජල චිකිත්සක ප්‍රතිකාර ‍ සඳහා යොදාගන්නා රණවිරු පිහිනුම් තටාකය නඩත්තු කිරීමට භාවිතා කරනු ලබන පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය (දියර ක්ලෝරීන්) පරිත්‍යාගයක් ද සිදුකරනු ලැබීය. අනතුරුව, අභිමංසල II සුවතා නිකේතනයේ සේනාවිධායකතුමන් සහ නේවාසික රණවිරුවෙකු විසින් එතුමිය වෙත විශේෂ සමරු තිළිණයක් පිරිනමන ලදී.

සුවතා නිකේතන පරිශ්‍රයෙන් නික්ම යාමට පෙර එතුමිය එම අවස්ථාව සනිටුහන් කරමින් නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන් සමඟින් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියාය.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරී, ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් එක්ව සිටියහ.