Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

22nd April 2024 18:37:28 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික මහසභා රැස්වීම පැවැත්වේ

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික මහසභා රැස්වීම 2024 අප්‍රේල් මස 19 දින යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පැවති අතර ඒ සඳහා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවන්හි සභාපතිනියන්, විධායක මණ්ඩල සාමාජිකාවන් සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහභාගී වූහ.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම රැස්වීමේදී යුද්ධ හමුදා සේවා වනිතා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වමින් මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරනු ලැබීය. පසුව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ කාර්යභාරය හා සබැඳිව නිර්මාණය කරනු ලැබූ වාර්ථාමය වීඩියෝපඨයක් ප්‍රදර්ශනය කෙරිණි.

ඉන් අනතුරුව, පහත සඳහන් පරිදි යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්ගේ ජ්‍යෙෂ්ඨත්වය මත විධායක කමිටු සාමාජිකාවන් තෝරාපත් කෙරිණි.

මහජන සම්බන්ධතා නිලධාරිනී - තුෂාරි යටිවාවල අළුවිහාරේ මහත්මිය

සහකාර මහජන සම්බන්ධතා නිලධාරිනී - නෙලූකා නානායක්කාර මහත්මිය

සියලුම ව්‍යාපෘති අධීක්‍ෂණ භාර නිලධාරිනී - ස්වෙන්ද්‍රිනී රොද්‍රිගෝ මහත්මිය

මෙම අවස්ථාවේදී, රැස්වීම ආමන්ත්‍රණය කරමින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි එම ඒකකය වෙතින් ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳ විස්තර කළාය. අනතුරුව, කපිතන් එම්.ඒ.ඩබ්ලිව්. නිමාෂා විසින් පෙර රැස්වීම් වාර්තාව ඉදිරිපත් කළ අතර යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ විධායක ලේකම් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ භාණ්ඩාගාරික මේජර් පී.ජී.පී.සී. කුමාරි විසින් විගණන වාර්තාව ද ඉදිරිපත් කළහ.

අනතුරුව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය විසින් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සාමාජිකයන් සිව් දෙනෙකු වෙත නිවාස ඉදිකරගැනීම සඳහා රුපියල් ලක්‍ෂ 6 බැගින් මූල්‍යාධාර පරිත්‍යාග කරනු ලැබීය. එමෙන්ම, අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාසයන්හි ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කරගැනීම සඳහා තවත් සාමාජිකයන් සිව්දෙනෙකු වෙත රුපියල් 450,000/- ක මූල්‍ය ප්‍රදානයන් සහ සිවිල් සේවක මහතෙකු වෙත රුපියල් 300,000/- ක මුල්‍ය ප්‍රදානයක් ද සිදුකරන ලදී.

මෙම රැස්වීම අතරතුරදී, හදිසි අනතුරකින් යුද්ධ හමුදා සාමාජිකයෙකුගේ හිසට සිදුවූ තුවාලයකට ප්‍රතිකාර කිරීම සඳහාත් අඩු රුධිර පීඩනය සහ විෂාදය සහිත සිවිල් සේවක මහතෙකුට ප්‍රතිකාර ලබාගැනීමටත් රුපියල් 75,000.00/= බැගින් වූ මූල්‍ය ආධාර පරිත්‍යාග කරනු ලැබිණි.

එමෙන්ම, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ දරුවන් තිදෙනෙකු සිටින සාමාජිකයන් තිදෙනෙකු වෙත රුපියල් 100,000.00/= බැගින් වූ මුල්‍ය පරිත්‍යාගයන් ද සිදුකරනු ලැබිණි.

ආර්ථික දුෂ්කරතාවයන් සඳහා සහන සැලසීමේ අරමුණින් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සාමාජිකයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් 20 දෙනෙකු වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත වියළි ආහාර සලාක පාර්සල් ද මෙහිදී බෙදාදෙනු ලැබීය. මීට අමතරව, යුද්ධ හමුදා සාමාජිකයන් 10 දෙනෙකුගේ සහ සිවිල් සේවක මහතුන්ගේ දුවා දරුවන් වෙත අත්‍යවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාගයක් ද සිදුකෙරිණී.

මෙහිදී, අර්ධ වශයෙන් ඉදිකර ඇති නිවාසවල ඉදිකිරීම් කටයුතු නිමකිරීම සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාව වෙතින් එම බලකාය යටතේ සේවයේ නියුතු සිවිල් සේවක මහතෙකු වෙත රුපියල් 600,000.00/= ක් සහ එම බලකා සාමාජිකයෙකු වෙත 450,000.00/= ක මූල්‍ය පරිත්‍යාගයක් ද සිදුකෙරිණි.

මෙම අවස්ථාවේදී, ගැමුණු හේවා බලකාය, ගජබා රෙජිමේන්තුව සහ ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවන්හී සභාපතිනියන් වන මනෝරි වෙලගෙදර මහත්මිය, දිලූපා පීරිස් මහත්මිය, සුරංගි අමරපාල මහත්මිය විසින් මෙම අවස්ථාවේදී යුද්ධ හමුදා සේවා වනිතා ඒකක අරමුදල වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයන් ද සිදුකරනු ලැබීය.

මාසික මහාසභා රැස්වීම සමාප්තියේදී, සියලුම සහභාගී වූවන් සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුහඳ පිළිසඳරක ද නිරතවිය.