Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

18th April 2024 18:37:57 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ 25 වන වාර්ෂික මහා සභා රැස්වීම සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ 25 වන වාර්ෂික මහා සභා රැස්වීම රොක් හවුස් කඳවුරු පරිශ්‍රයේ පිහිටි නිලධාරී නිවස්නයේදී මාර්තු මස 24 වන දින පවත්වන ලදී. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සමංගිකා ප්‍රනාන්දු මහත්මිය සහභාගී විය.

මහා සභා රැස්වීම අතරතුරදී සන්නාහ සන්නද්ධ බලකා ඒකකයන්හි භටපිරිස් පස් දෙනෙකු වෙත ඔවුන්ගේ අඩක් ඉදිකරන ලද නිවාස ඉදි කිරීම සඳහා රුපියල් 350,000.00 ක මූල්‍යමය ප්‍රධානයන් ලබාදුන් අතර, සිවිල් සේවක මහතුන් 123 දෙනෙකු සඳහා ද රුපියල් 7500.00 ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක ඇසුරුම් බෙදා දෙන ලදී. මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන් සඳහා අරමුදල් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාව මගින් සංවිධානය කරන ලද ‘SINGALONG 2023’ මගින් සපයා ගැනීමට හැකි විය. වැඩසටහනට සමගාමීව ‘රණවිරු සෙවණ – රාගම’ හි නේවාසිකව වෛද්‍ය ප්‍රතිකාර ලබන 3 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායෙහි ලාන්ස් කෝප්‍රල් ඒ.බී.ටී මධුසංක කුමාර වෙත තලතා උපුල්මලී ප්‍රේමතිලක මහත්මියගේ සම්බන්ධීකරණයෙන් සිංගප්පූරුවේ බෞද්ධ සංගමය විසින් රෝද පුටුවක් ද ප්‍රදානය කරන ලදී.

මහා සභා රැස්වීම අතරතුරදී ශ්‍රී ලංකා සංඥා බලකායේ මේජර් ඒ. කාරියවසම් විසින් ‘'How to Obtain Passive Income,’ යන මැයෙන් දේශනයක් ද පවත්වන ලදී. යුද්ධ හමුදා නර්තන කණ්ඩායමේ නර්තන අංගයන් මගින් අලංකාරවත් වූ මෙම වැඩසටහනේදී ‘ජනයි ප්‍රියයි’ වැඩසටහනේ රංගන ශිල්පීන්ද විනෝදාස්වාදය එක් කළේය.