Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

20th March 2024 18:31:34 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් ගැබිණි කාන්තා නිලධාරිනියන් සහ සෙබලියන් වෙත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් යුද්ධ හමුදාවේ රාජකාරි කරනු ලබන ගැබිණි කාන්තා නිලධාරිනියන් සහ සෙබලියන් 100 දෙනෙකු වෙත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් යුද්ධ හමුදා මූලස්ථානයේදී පසුගිය සඳුදා (මාර්තු මස 18) දින පවත්වනු ලැබීය.

මෙම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය කාන්තා සෙබලියන් විසින් බුලත් හුරුල්ලක් පිරිනමා උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි. අනතුරුව, ගැබිණි කාන්තා නිලධාරිනියන් සහ සෙබලියන් වෙත අත්‍යවශ්‍ය සහ පෝෂ්‍යදායී ද්‍රව්‍ය සහිත වියලි ආහාර සලාක ඇසුරුම් බෙදා දෙන ලදී.

අනතුරුව, ගැබිණි කාන්තා නිලධාරිනියන් සහ සෙබලියන් සඳහා පෝෂ්‍යදායී දිවා ආහාර වේලක් පිරිනමන ලදී.

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුභසාධනය සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් සිදුකරනු ලබන කැපවීම මෙවැනි වැඩසටහන් මගින් පෙන්නුම් කරයි.

උත්සව කටයුතු අවසානයේ එම අවස්ථාව සනිටුහන් කරමින් ජානකී ලියනගේ මහත්මිය එම අවස්ථාවට සහභාගී වූ ගැබිණි කාන්තා නිලධාරිනියන් සහ සෙබලියන් සමඟින් සමූහ ඡායාරූපයකටද පෙනී සිටියහ.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ බ්‍රිගේඩියර් ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් ද සහභාගී වූහ.