Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

04th March 2024 14:36:20 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික මහසභා රැස්වීම සාර්ථකව පවත්වයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික මහසභා රැස්වීම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවන්හි සභාපතිනියන්, විධායක මණ්ඩල සාමාජිකාවන් සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී පසුගිය සිකුරාදා (මාර්තු මස 01) දින පැවැත්විණි.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාසික මහසභා රැස්වීම ආරම්භ වූ අතර, එහිදී යුද්ධ හමුදා සේවා වනිතා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ද පවත්වනු ලැබිණි. අනතුරුව, මෙම ඒකකය විසින් ඉටු කරන ලද සේවාවන් ඇතුළත් කෙටි වාර්තාමය චිත්‍රපටයක් ද එම අවස්ථාවේදී ප්‍රදර්ශනය කරන ලදී.

උත්සව සභාව ඇමතූ ජානකී ලියනගේ මහත්මිය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මඟින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතීන් පිළිබඳව විස්තර කළාය. අනතුරුව, කපිතන් එම්.ඒ.ඩබ්ලිව් නිමාෂා විසින් අවසන් රැස්වීමේ වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුව භාණ්ඩාගාරික මේජර් පී.ජී.පී.සී කුමාරි විසින් අයවැය සහ ගිණුම් වාර්තාව සභාව වෙත ඉදිරිපත් කරන ලදී.

ජානකී ලියනගේ මහත්මිය විසින් කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවයේ නියුතු රණවිරුවන් පස්දෙනෙකු වෙත ඔවුන්ගේ අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාස ඉදිකර ගැනීම සඳහා මුල්‍යමය ප්‍රදානයන් සිදුකරන ලද අතර, එම රෙජිමේන්තුවේ රාජකාරියෙහි නියුතු සිවිල් සේවක මහතෙකුගේ භාර්යාව සඳහා අක්‍ෂි වෛද්‍ය ප්‍රථිකාර ලබාගැනීමට මුල්‍යමය ප්‍රදානයක් සහ සිවිල් සේවක මහතුන් දස දෙනෙකු සඳහා වියළි ආහාර සලාක පාර්සල් ද පිරිනමන ලදී.

මාසික මහසභා රැස්වීමේ සමාප්තිය සනිටුහන් කරමින් ජානකී ලියනගේ මහත්මිය එම ඒකකයේ සියලුම සාමාජිකාවන් සමඟින් තේ පැන් සංග්‍රහකට එක් වූ අතර, එහිදී එම සාමාජිකාවන් සමඟින් සුහඳ පිළිසඳරක ද නියැලුනාය.