Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

12th February 2024 14:15:27 Hours

යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහසභා රැස්වීම සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහසභා රැස්වීම දොඹගොඩ ප්‍රදේශයේ ස්ථාපිත යුධෝපකරණ බලකා පුහුණු පාසලේදී පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 27) දින පැවැත්විණි.

එම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයින් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති සහ ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර මේජර් ජෙනරල් ඊ.එම්.එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ සමඟින් එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය සහභාගී වූහ.

උත්සව අවස්ථාවට සපැමිණි ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. පසුව, චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන දල්වා සේවා වනිතා ගීතය ගායනා කර මව්බිම වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් විනාඩිදෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා ගෞරවාචාර පුදකිරීමෙන් අනතුරුව රැස්වීමේ කටයුතු ආරම්භ කෙරිණි.

මෙහිදී, සිවිල් සේවක මහතුන් දස දෙනෙකු සඳහා වියළි ආහාර සලාක පාර්සල් සහ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් මූල්‍ය ආධාර පිරිනමනු ලැබීය. මෙම වැඩසටහනට සමගාමීව අභිනවයෙන් ඉඳිකරන ලද යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ගොඩනැගිල්ල මේජර් ජෙනරල් ඊ.එම්.එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ සහ ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය ගේ සුරතින් විවෘත කරනු ලැබූහ.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.