Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

07th February 2024 16:53:18 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික මහසභා රැස්වීම යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්වෙයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික මහසභා රැස්වීම යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී රෙජිමේන්තු සේවා වනිතා සභාපතිවරියන්, විධායක මණ්ඩල සාමාජිකායින් සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් පසුගිය අඟහරුවාදා (පෙබරවාරි මස 6) දින පවත්වන ලදී.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම මාසික මහසභා රැස්වීමේ කටයුතු ආරම්භ කරන ලදී. යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගීතය ගායනා කිරීමෙන් අනතුරුව රට වෙනුවෙන් දිවිපිදූ වීරෝධාර රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වන ලදී.

සභාව අමතමින් සභාපතිනිය විසින් පසුගිය වසරේ සියලු ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කළ බව අවධාරණය කරමින් සේවා වනිතා ඒකකය ලබාගත් ජයග්‍රහණ විස්තර කළාය. අනතුරුව, විධායක ලේකම්වරිය වන කපිතන් එම්.ඒ.ඩබ්ලිව්.නිමාෂා විසින් පසුගිය සමිති වාර්තාව කියවූ අතර, භාණ්ඩාගාරික මේජර් පී.ජී.පී.සී කුමාරි විසින් විගණන වාර්තාව ඉදිරිපත් කරන ලදී.

ජානකී ලියනගේ මහත්මිය විසින් ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියුතු සෙබළුන් තිදෙනෙකුට අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාසය ඉදිකිරීම, ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියතු සිවිල් සේවක මහතකුගේ බිරිඳගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුල්‍ය ආධාර ලබාදීම හා ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියුතු සෙබළුන් පස් දෙනෙකු වෙත වියළි අහාර සලාක පාර්සල් බෙදාදීම ද මෙම අවස්ථාට සමගාමීව සිදු විය.

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නන්දනී සමරකෝන් මහත්මියගේ සම්බන්ධීකරණය යටතේ පරිත්‍යාගශීලීන් විසින් කොළඹ යුද්ධ හමුදා රෝහලට වෛද්‍ය උපකරණ තොගයක් ද මෙහිදී පරිත්‍යාග කෙරිණි.

මාසික මහසභා රැස්වීම සමාප්තිය සනිටුහන් කරමින් තේ පැන් සංග්‍රහයක් පැවති අතර එහිදී සභාපතිනි හා සාමාජිකාවන් අතර සුහද අදහස් හුවමාරුවක්ද සිදුවිය.