Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

12th January 2024 17:32:48 Hours

2024 වර්ෂයේ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ප්‍රථම මාසික රැස්වීම පැවැත්වේ

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික රැස්වීම පසුගිය බදාදා (ජනවාරි මස 10) දින යුද්ධ හමුදා මුලස්ථාන පරිශ්‍රයේදී රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවන්හි සභාපතිනියන්, විධායක මණ්ඩල සාමාජිකාවන් සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ රැස්වීමේදී ප්‍රථමයෙන් යුද්ධ හමුදා සේවා වනිතා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වමින් මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරනු ලැබීය. ඉන් අනතුරුව, පහත සඳහන් පරිදි යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්ගේ ජ්‍යෙෂ්ඨත්වය මත විධායක කමිටු සාමාජිකාවන් තෝරාපත් කෙරිණි.

උප සභාපතිනි - දිලූපා පීරිස් මහත්මිය

ලේකම් - නන්දනී සමරකෝන් මහත්මිය

සහකාර ලේකම් - ශම්මි ජයවර්ධන මහත්මිය

මහජන සම්බන්ධතා නිලධාරිනී - ශෙහානි ප්‍රනාන්දු මහත්මිය

සහකාර මහජන සම්බන්ධතා නිලධාරිනී - තුෂාරි යටිවාවල අළුවිහාරේ මහත්මිය

සියලුම ව්‍යාපෘති අධීක්‍ෂණ භාර නිලධාරිනී - නේලූකා නානායක්කාර මහත්මිය

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය විසින් සභාව ආමන්ත්‍රණය කරමින් එම ඒකකය වෙතින් ක්‍රියාත්මක කළ සියලුම ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කර ඇති බවත් පසුගිය වසරේ ජයග්‍රහණයන් ද ඇගයීමට ලක්කළේය. යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ විධායක ලේකම් කපිතන් එම්.ඒ.ඩබ්ලිව්. නිමාෂා විසින් පසුගිය රැස්වීමේ වාර්තාව ඉදිරිපත් කළ අතර භාණ්ඩාගාරික මේජර් පී.ජී.පී.සී. කුමාරි විසින් විගණන වාර්තාව ඉදිරිපත් කරන ලදී.

මෙම අවස්ථාවේදී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් නිවාස ඉදිකරමින් පවතින යුද්ධ හමුදා සාමාජිකයන් තිදෙනෙකු වෙත රුපියල් 600,000.00 ක්, 500,000.00 ක් සහ 450,000.00 බැගින් වූ මූල්‍ය පරිත්‍යාගයන් සිදුකරන ලදී. එමෙන්ම, මානුෂීය මෙහෙයුමේදී ප්‍රහාරයකට ලක්ව ශ්‍රවණාබාධ වූ සෙබළෙකුට ශ්‍රවණ උපකරණයක් පරිත්‍යාග කරන ලදී. තවත් සෙබළෙකුගේ බිරිඳගේ ආබාධිත පියා වෙත රෝද පුටුවක් මිලදී ගැනීම සඳහා රුපියල් 42,000.00 ක මූල්‍ය පරිත්‍යාගයක් මෙහිදී සිදුකෙරිණි.

මෙම අවස්ථාවේදී, ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි උත්පලා හෙට්ටිආරච්චි මහත්මිය විසින් යුද්ධ හමුදා සේවා වනිතා අරමුදලට මූල්‍ය පරිත්‍යාගයක් සිදුකරන ලදී.