Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

10th January 2024 19:28:10 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් විරු කැකුළු පෙරපාසල් ගුරුවරුන්ට පුහුණු වැඩමුළුවක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ සංකල්පයකට අනුව 2024 ජනවාරි මස 09 දින ශ්‍රී ලංකා පාබල හමුදා දේශන ශාලාවේදී ගුරු පුහුණු වැඩමුළුවක් පැවැත්විණි. දිවයින පුරා ස්ථාපිත විරු කැකුළු පෙරපාසල් අටක ඉගැන්වීම් කටයුතුවල නිරත ගුරු භවතුන් සවිබල ගැන්වීම, ළමා මනස පෝෂණය කිරීම සඳහා අවශ්‍ය කුසලතා සහ දැනුම ඔවුන් වෙත ලබාදීමේ අරමුණින් මෙම වැඩමුළුව පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා සහභාගී වූ ජානකී ලියනගේ මහත්මිය වෙත පෙර පාසල් ගුරුවරියක් විසින් බුලත් හුරුල්ලක් පිළිගන්වමින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා සංස්කෘතික නර්තන කණ්ඩායම්වල නර්තනයන් සමඟින් දේශන ශාලාව වෙත කැටුව ගියාය. උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් සාම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ගීතය ගායනා කෙරිණි. අනතුරුව, ජාතියේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් ජීවිත පූජාකළ වීරෝදාර රණවිරුවන්ට උපහාර පුදකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීය.

කාලගුණික විපර්යාස පිළිබඳ ඕස්ට්‍රේලියානු Eco – V ආයතනයේ සභාපති සහ ඉන්දියාවේ ‘Justice Tours and Edible Routes’ පදනමේ නිර්මාතෘ වන කාංචනා දිල්රුක්‍ෂි කුමාරි වීරකෝන් මෙනවිය විසින් වැඩමුළුවේ සමාරම්භක දේශනය පවත්වන ලදී. ඇය විසින් සිදුකරනු ලැබූ අගනා දේශනය ඇගයීමට ලක්කරමින් එතුමිය වෙත කෘතඥතාවයක් වශයෙන් සමරු තිළිණයක් ද පිරිනැමිණි.