Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

04th December 2023 18:56:07 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ නව විධායක මණ්ඩලය පත්කෙරේ

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික රැස්වීම එම ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (දෙසැම්බර් මස 01) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී පැවැත්විණි.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් සාම්ප්‍රයික පොල්තෙල් පහන දල්වා යුද්ධ හමුදා සේවා වනිතා ගීතය ගායනා කර, රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් අනුස්මරණය කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලැබීය. අනතුරුව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් සිදුකරනු ලැබූ විවිධ ව්‍යාපෘතින් අළලා සකස් කෙරුණු කෙටි වීඩියෝ පටයක් ප්‍රදර්ශණය කෙරිණි.

මේජර් ඩබ්ලිව්.එම්.ඩී වර්ණකුලසූරිය විසින් පසුගිය රැස්වීමේ වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව භාණ්ඩාගාරික මේජර් පී.ජී.පී.සී. කුමාරි විසින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ අයවැය සහ ගිණුම් ලේඛන සභාව වෙත ඉදිරිපත් කරන ලදී.

ජානකී ලියනගේ මහත්මිය පැමිණ සිටි පිරිස වෙත සිය කෘතවේදීත්වය පුද කරමින් ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව පැහැදිලි කළාය.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් සිදුකරනු ලබන සුබසාධන ව්‍යාපෘතීන් වැඩිදියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සමන්කා ප්‍රනාන්දු මහත්මිය විසින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙත මූල්‍ය පරිත්‍යාගයක් සිදුකරන ලදී. උත්සව අවස්ථාව අතරතුරදී ජානකී ලියනගේ මහත්මිය ලාන්ස් බොම්බොඩියර්වරයෙකු වෙත අඩක් නිමකරන ලද නිවසේ ඉදිකරීම් කටයුතු සඳහා රු. ලක්‍ෂ 06 ක් සහ තවත් බොම්බොඩියර්වරයෙකුගේ අඩක් නිමකරන ලද නිවසේ ඉදිකරීම් කටයුතු අවසන් කිරීම සඳහා රු. ලක්‍ෂ 4.5 ක් පරිත්‍යාග කරනු ලැබීය.

මාලි රාජ්‍යයේ 3 වන ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩායමට අනුයුක්තව රාජකාරි කරමින් සිටියදී ත්‍රස්ත ප්‍රහාරයක් හේතුවෙන් ශ්‍රවණාබාධයකට ලක්වූ සැරයන් ටී.ජී.ආර්. සඳරුවන් වෙත ශ්‍රවණාධාර කට්ටලයක් පරිත්‍යග කිරීම ද මෙහිදි සිදුකෙරිණි.

රැස්වීම අතරතුරදී බොම්බොඩියර්වරයෙකුගේ නිවසෙහි වැඩ අවසන් කිරීම සඳහා රු. ලක්‍ෂ 05 ක මුදලක් සහ අසාධ්‍ය රෝගී තත්ත්වයකින් පෙළෙන බොම්බොඩියර්වරයෙකුගේ දරුවෙකුගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා රු. ලක්‍ෂයක මුදලක්ද පරිත්‍යාග කරනු ලැබීය.

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුබසාදන කටයුතු නඟාසිටුවීම සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය නිරතුරුවම කටයුතු කරයි. රැස්වීමේ කටයුතු අවසන් කරමින් එම ඒකකයේ සාමාජිකාවන් සමූහ ඡායාරූපයක් සඳහා පෙනීසිටියහ.

නව විධායක කමිටු සාමාජිකාවන් පහතින් දැක්වේ:

වැඩබලන උප සභාපතිනී සහ ලේකම් - ඔමිලා ජයවර්ධන මහත්මිය

සහකාර ලේකම් - නන්දනී සමරකෝන් මහත්මිය

මහජන සම්බන්ධතා නිලධාරිනී - ශ්‍යාමලී විජේසේකර මහත්මිය

සහකාර මහජන සම්බන්ධතා නිලධාරිනී - දිලූපා පීරිස් මහත්මිය

සියලුම ව්‍යාපෘති අධීක්‍ෂණ භාර නිලධාරිනි - ෂම්මි ජයවර්ධන මහත්මිය